ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මාරක රිය අනතුරින් දිවි අහිමි වූවන්ගේ අවසන් කටයුතු අද(07) සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
මියගිය තංගල්ල නගර සභාවේ සේවකයින් දස දෙනෙකුගේ සිරුරු ඊයේ පෙරවරුවේ තංගල්ල නගර සභා ශාලාව වෙත රැගෙන ආවේ ඔවුන්ගේ ඥාතීන් ඇතුලු එහි පැමිණි බොහෝ දෙනෙකුගේ සෝ සුසුම් මධ්‍යයේයි.
එහිදී තංගල්ල නගර සභාවේ සේවකයින් මෙන්ම ප්‍රදේශයේ විශාල පිරිසක් මෙම අනතුරින් දිවි අහිමි වූ තම හිත මිතුරන්ට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක්ද තංගල්ල නගර සභා ශාලාවට පැමිණ දේහ වෙත අවසන් ගෞරව දක්වා තිබුණා.
පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙම අනතුර සිදුවූ අතර,එම අවස්ථාවේදී අදාළ බස් රථයේ රියැදුරු ද ඇතුළුව 15 දෙනෙකුට දිවි අහිමි වුණා.
මේ අතර, අනතුරින් තුවාල ලැබූ 17 දෙනා සහ තුවාලකරුවන් බේරාගැනීමේ මෙහෙයුමට එක්ව තුවාල සිදු වූ තවත් දෙදෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
අඩි 1000ක ප්‍රපාතයට පෙරළීමෙන් සුන්බුන් වූ බස් රථය ඊයේ ගොඩගැනීම සිදු කළ අතර එම සුන්බුන් හෙට දිනයේදී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිත බවයි පොලිසිය සදහන් කළේ.











