ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තර්ජනය කර බිය වද්දමින් කප්පම් ගැනීමේ නිරතව සිටි පුද්ගලයෙකු කිරිවත්තුඩුව මිල්ලගහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සිදුකළ වෙඩි තැබීමෙන් අවුරුදු 49ක කාන්තාවක් තුවාල ලබා ඇති අතර ඇය කහතුඩුව වෑතර දිසාරෝහල වෙතයි ඇතුළත් කර ඇත්තේ.
පොලිසිය පැවසුවේ සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජිව අත්බෝම්බයක් හා මන්නයක් ද සිය භාරයට ගත් බවයි.
පුද්ගලයෙකු ගිනි අවියක් සන්තකයේ තබාගෙන කිරිවත්තුඩුව මිල්ලගහවත්ත ප්‍රදේශයේ සැරිසරමින් නිවෙස්වලට කඩා වැදි කප්පම් ගැනීමේ නිරත වන බවත් එම පුද්ගලයාට කප්පම් නොදුන් කාන්තාවකට වෙඩි තබා තුවාල කර ඇති බවත් පොලීසිය පැමිණිල්ලක් ලැබී තිබුණා.
එම පැමිණිල්ලකට අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්ථානයට ගිය අවස්ථාවේදී ඔහු ගිනිඅවිය සහ ලයිටරයක් අතැතිව තමන්ව අත්අඩංගුවට ගැනීමට පැමිණෙන පොලීසියට වෙඩි තබන බවට තර්ජනය කරමින් හැසිරුණු බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
එම අවස්ථාවේදී ඉතා සූක්ෂම ලෙස සැකකරු අසලට ස්ථාන කිහිපයකින් ළඟා වූ පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහු හැඳ සිටි කලිසම් සාක්කුවේ තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ පිට තුළ සඟවාගෙන සිටි මන්නයක්ද සොයා ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ සැකකරු මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙම කප්පම් ගැනීම සිදුකර ඇති බවයි.
අදාළ පුද්ගලයා මීට පෙර පුද්ගලයන් සිව්දෙනෙකු තියුණු ආයුධවලින් කපා තුවාල කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර දඬුවම් විදි පුද්ගලයෙක්.
අවුරුදු 32ක් වන මෙම සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කහතුඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.











