දේශීය

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 02ක් ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට

කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ” හරිත මාවත” ( Green Channel ) ඔස්සේ පිටව යාමට තැත්කළ ගුවන් මගීන් දෙදෙනෙකු අද (23) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් කෝටි 05කට අධික වෙළෙඳ වටිනාකමකින් යුතු ”කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙම සැකකරුවන් විසින් රැගෙනවිත් ඇති බවයි සඳහන් වන්නේ.

සැකකාරිය කොළඹ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක්.

අනෙක් පුද්ගලයා ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංච් 48 හැවිරිදි අයෙක් බවටයි අනාවරණය වී ඇත්තේ.

ඔවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන, ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ, එතැන් සිට අද අලුයම 06.50 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 277 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙසේ ඇසුරුම් 05 ක් ලෙස සකස් කළ ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 092 ක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත්තේ ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙකක් තුළ සහ පිටෙහි එල්ලා ගෙන යනු ලබන ගමන් මල්ලක් තුළ තිබියදීයි.

මෙසේ අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා රැගෙන ආ සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

Shares: