ක්‍රීඩා

කුසලානය ප්‍රතික්ෂේප කරමින් ඉන්දියාව ජය සමරයි

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ කුසලානය ලබා දීමට සූදානම් වූ පාකිස්තාන ස්වදේශ කටයුතු අමාත්‍ය මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්වි අතින් කුසලානය ලබා ගැනීමට තිබූ අකමැත්ත හේතුවෙන්.

උත්සවයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පැවසුවේ තමන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත් දා සිට ශූර කණ්ඩායමකට කුසලානයක් අහිමි වීම තමන් දැක නොමැති බවයි.

කෙසේ වෙතත් ආසියානු කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ ඉන්දීය කණ්ඩායම කුසලානය නොමැතිව සිය ජයග්‍රහණය සමරනු ලැබුවා.

එමෙන්ම දෙරටේ විරසකයත් සමග සාම්ප්‍රදායිකව අවසන් තරගයට පෙර ශූරයින්ට පිරිනමනු ලබන කුසලානය සමග නායකයින් එක්වන නිල ඡායාරූපය සඳහා පෙනි සිටීම ද ඉන්දීය නායක සූර්යකුමාර් විසින් ප්‍රතික්ෂේප කර තිබුණු බවද මාධ්‍ය වාර්තාවල සඳහන්.

දින 19ක් කණ්ඩායම් 8ක් එක් කිරුළක් වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිටිය උණුසුම් කරමින් පැවැති තරග 18 කින් පසු 17 වැනි ආසියානු කුසලාන පන්දුවාර 20 ශූරයින්ගේ සටනට සුදුසුකම් ලැබූවේ ඉන්දු – පාකිස්ථාන පසමිතුරනුයි.

යුද උණුසුමෙන් අනතුරුව ඉන්දියාව සහ පාකිස්ථානය ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලානයක අවසන් මහා තරගයට පිවිසීමත් විශේෂත්වයක්.

ඒ සඳහා 1984 වසරේ සිට 2025 වසර තෙක් 41ක් වසරක් බලා සිටින්නටත් ඔවුන්ට සිදු වුණා.

කෙසේනමුත් ඊයේ පැවැති අවසන් තරගයේදී පාකිස්තාන කණ්ඩායමනේ හිමිවූ ලකුණු 147 ඉලක්කයට පිළිතරු ලෙස ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 150ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමටයි සමත්වුණේ.

Shares: