දේශීය

ප්‍රදේශ කිහිපයක සිදු වූ අනතුරුවලින් 04කට දිවි අහිමිවෙයි

බිංගිරිය පොලිස් වසමේ හමන්නාපහුව දළුපොත මාර්ගයේ ගුරුළුවෙල ප්‍රදේශයේදී මාරක අනතුරක් සිදුව තිබෙනවා.

දළුපොත දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැනක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් පැදිකරු හා පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පැදිකරු මියගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 23 ක් වූ නාගොල්ලාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම මාතර තිස්සමහාරාම මාර්ගයේ දංදෙනිය ප්‍රදේශයේ දී තිස්සමහාරාම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව විරුද්ධ දිසාවෙන් පැමිණි බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇය 51 හැවිරිදි මොරගොල්ලාගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අනතුර සම්බන්ධයෙන් ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

කරෙයිනගර් කැරුම්කාලී වෙල් යාය මාර්ගයේ කරෙයිනගර් ප්‍රදේශයේදී ද සිදු වූ අනතුරකින් 34 හැවිරිදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට පත්වුණා.

ඇරැව්ව හන්දිය දෙස සිට කලභූමී දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරළී යාමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

කයිට්ස් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

නෙදුන්කේනි ඔඩ්ඩුසුඩාන් මාර්ගයේ පන්ඩාරිකුලම් ප්‍රදේශයේ දී ඔඩ්ඩුසුඩාන් දෙස සිට නෙදුන්කේනි දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයේ සිටි ගවයෙකුගේ ගැටී පෙරළී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරු පැදිකරු හා පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා ඔඩ්ඩුසුඩාන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි පැදිකරු මිය ගොස් ඇත්තේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 61ක් වූ නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිසිය පැවසුවේ පසුපැදිකාරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා මුලතිව් රෝහලට මාරු කර යවා ඇති බවයි.

Shares: