මහනුවර, තැන්නේකුඹුර පාලම ආසන්නයෙන් අතුරුදන් වූ බවට පැවසූ සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මෘත ශරීරය මහවැලි ගඟේ පාවෙමින් තිබිය දී සොයාගෙන තිබෙනවා.
දරුවාගේ මළ සිරුර මහවැලි ගඟේ හාරගම ප්‍රදේශයේ පාවෙමින් තිබිය දී අද (10) පෙරවරුවේයි සොයාගෙන ඇත්තේ.
එලෙස මෘත ශරීරය හමුව ඇත්තේ, රවිචන්ද්‍රන් ජෙගදිස් නැමති 14 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවාගේයි.
ඊයේ දිනයේ දී මහනුවර ප්‍රදේශයේ පාසල් දෙකක ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවට වාර්තා වුණා.
මෙලෙස අතුරුදන්ව සිටියේ තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචි 09වන වසරේ සහ 08 වන වසරේ ඉගෙනුම ලැබූ 14 හැවිරිදි රවිචන්ද්‍රන් ජෙගදිස් සහ එම්.මිලාන් නැමැති සිසුන් දෙදෙනෙක්.
මෙම සිසුන් දෙදෙනා ඊයේ පස්වරුවේ නිවෙස්වලින් පිටව ගොස් ඇත්තේ සුරතල් මසුන් මිලදී ගැනීමට දිගන ප්‍රදේශයට යන බව පවසමින්.
මේ අතර, ඊයේ පස්වරුවේ මෙම සිසුන් දෙදෙනා මහවැලි ගඟට බැස ගල්තලාවක සිටි බවට එම ප්‍රදේශයේ ධීවරයෙකු පොලීසියට පවසා තිබෙනවා.
මෙම ධීවරයා සිසුන් දෙදෙනාට ගඟට නොබසින ලෙසට අවවාද සිදුකළත් ඔවුන් ඔහුට පවසා ඇත්තේ තමන්ට පිහිනීමට හැකි බවයි.
නමුත් පසුව බලන විට වර්ෂාවත් සමඟ ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබූ බවත්, සිසුන් දෙදෙනා එම ගල්තලාවේ නොසිටි බැවින් ඔවුන් ගඟෙන් එගොඩ වන්නට ඇති බව තමන් සිතූ බවයි ධීවරයා පොලීසියට වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
එමෙන්ම තවත් කිහිපදෙනෙකු පොලිසියට සඳහන් කර ඇත්තේ මෙම සිසුන් දෙදෙනා මහවැලි ගඟට බැස සිටිනවා දුටු බවයි.
නමුත් තම පුතුට පිහිනීමට නොහැකි බවත්, කිසිවිටෙකත් සිය පුතු මහවැලි ගඟට දිය නෑමට නොයන බවයි අතුරුදන්ව සිටින ජෙගදීස් සිසුවාගේ මව පවසා ඇත්තේ.
එමෙන්ම අතුරුදන්ව සිටින සිසුන් දෙදෙනාගේ යහලුවෙකුගේ පියෙකු මෙම සිසුන් දෙදෙනා සිය පුතුටද මහවැලි ගඟේ දිය නෑමට කතා කර ඇති නමුත් ඔහු ඔවුන් සමඟ නොගිය බව පොලීසියට සඳහන් කර තිබෙනවා.
මහනුවර මූලස්ථාන පොලීසිය සහ බලගොල්ල පොලීසිය එක්ව අතුරුදන්ව සිටින සිසුන් සෙවීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්ම කළ අතර, නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක්ද යොදවායි මහවැලි ගඟේ සෙවීමේ කටයුතු සිදු කරන්නේ.











