මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා සුදුස්සෙකු තෝරා පත්කර ගැනීමේ රැස්වීම හෙට (07) බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
දියවඩන නිලමේ ධුරය සඳහා වත්මන් වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර කතරගම මහා දේවාලයේ හා පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ, මහනුවර නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය තිලක් සුබසිංහ,පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන ගාමිණි කළුහෙන්දිවල, පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කරන බදුල්ල සෝනුත්තර රජමහා විහාරස්ථානයේ හා සතර මහා දේවාල මහ නිලමේ රොෂාන් ප්‍රියදර්ශන හා විශ්‍රාමික යුද හමුදා කර්නල් වරයෙකු වන නන්ද මඩුගල්ලේ යන මහත්වරු මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසනවා.
මෙවර දියවඩන නිල මේ තෝරා පත්කර ගැනීමේ රැස්වීමේ දී මහා සංඝරත්නය ඇතුළු 267ක පමණ පිරිසක් ඡන්දය ලබා දීමට සුදුසුකම් සපුරා තිබෙනවා.
මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන්වහන්සේ දෙනම, පැරණි උඩරට රාජධානියට අයත්ව තිබූ බල ප්‍රදේශයේ පිහිටි රජමහා විහාරස්ථානවල පැවිදි හා ගිහි භාරකාරවරු 157 දෙනකු එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරු 71 දෙනකු හා විහාර දේවාලගම් ආඥා පනතට යටතේ ගැසට් කර තිබෙන දේවාල වල බස්නායක නිලමේවරු 29 දෙනකු මෙහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි.
උඩරට රාජධානි බල ප්‍රදේශයට අයත්ව තිබූ දේවාල 31 ක් සඳහා මෙහිදී ඡන්ද හිමිකම ලැබෙන අතර දමින්ද බණ්ඩාර උඩුරාවණ හා ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායක මහත්වරු දේවාල දෙකක බස්නායක නිලමේ ධුර හොබවන බැවින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙන්නේ එක් දේවාලයක් නියෝජනය කරමින් පමණක් වීම නිසා මෙවර බස්නායක නිලමේවරුන්ගේ ඡන්ද සංඛ්‍යාව 29 කට සීමා වී තිබෙනවා.
රැස්වීම් ශාලාවට ඇතුළු වීම සඳහා අවසර ලැබෙන්නේ අපේක්ෂකත්වය ප්‍රසිද්ධ කර තිබෙන පුද්ගලයින්ට හා ඡන්ද දායකයින්ට පමණි. ඡන්ද හිමිකමක් නොමැති අපේක්ෂකයෙකුගේ නම යෝජනා ස්ථිරත්වයෙන් සම්මත නොවුණහොත් ඔහුට රැස්වීම් ශාලාවේ රැඳී සිටීමට අවසර ලැබෙන්නේ නැත.
උඩරට රාජධානිය ඉංග්‍රීසින් අතට පත්වීමේ සිට මේ දක්වා දියවඩන නිලමේ ධුරයේ පුද්ගලයින් 19 දෙනෙකු කටයුතු කර තිබෙනවා. මෙවර පත්වන දියඩවන නිලමේවරයාට විහාර දේවාලගම් ආඥා පනතට අනුව 2035 වසර දක්වා ධුරයේ කටයුතු කිරීමට පුළුවන.











