උණුසුම් පුවත්

රෙහාන් ජයවික්‍රම සජබයෙන් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගය වැලිගම ආසන සංවිධායක මෙන්ම වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා සමගි ජන බලවේගයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකරමින් ඔහු පවසා ඇත්තේ, පක්ෂයේ වත්මන් ප්‍රතිපත්ති පිළිබඳ තමන් සෑහීමට පත් නොවන බවයි.

මෙය ස්වාර්ථසාධක දේශපාලන පියවරක් නොව, මාතෘභූමිය අභියස පවතින කෙටි මධ්‍යම සහ දීර්ඝ කාලීන අභියෝග ජයගැනීම වස්, පෞද්ගලික අභිමතාර්ථයත් පසෙකලා ගනු ලැබූ තීරණයක් බවයි ජයවික්‍රම මහතා සිය ලිපියෙන් අවධාරණය කර ඇත්තේ.

2025 දෙසැම්බර් 6 දිනැති ඉල්ලා අස්වීමේ ලිපියෙන් ඔහු තවදුරටත් මෙලෙස පවසා තිබුණා.

“නායකතුමනි,
පක්ෂයේ වර්තමාන දිශානතිය සහ ප්‍රතිපත්තිමය රාමුව පිළිබඳව හුදු පාක්ෂික දේශපාලනික දෘෂ්ටියකින් ඔබ්බට ගොස් ගැඹුරු ස්වයං විවේචනයක යෙදීමේදී, මාගේ හෘද සාක්ෂිය සහ පක්ෂයේ ගමන් මග අතර දැඩි දෘෂ්ටිමය විෂමතාවක් නිර්මාණය වී ඇති බව තේරුම් ගතිමි.

රාජ්‍ය නායකත්වයේ සහ රාජ්‍ය තන්ත්‍රයේ පවතින අර්බුද හමුවේ, සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය හුදු අර්ථශූන්‍ය ප්‍රහසනයක් බවට පත්ව ඇති මොහොතක, එකී ව්‍යුහාත්මක සීමාවත් අතික්‍රමණය කොට වඩාත් පුළුල් වූත්, අපක්ෂපාතී වූත් ජාතික මෙහෙවරකට අවතීර්ණ වීම කාලීන ධර්මතාවයක් ලෙස මම දකිමි.

මාගේ පක්ෂය කෙරෙහි පවත්නා බැඳීම අභිබවා යන මාගේ දේශය කෙරෙහි ඇති වගකීම පෙරදැරි කරගෙන, ස්වාධීන දේශපාලන මාවතක් තෝරා ගැනීමේ අභියෝගාත්මක තීරණයට එළැඹීමට මම අදහස් කළෙමි.

මෙය ස්වාර්ථසාධක දේශපාලන පියවරක් නොව, මාතෘභූමිය අභියස පවතින කෙටි මධ්‍යම සහ දීර්ඝ කාලික අභියෝග ජයගැනීම වස්, පෞද්ගලික අභිමතාර්ථයන් පසෙකලා ගනු ලැබූ තීරණයක් බව අවධාරණය කරනු කැමැත්තෙමි.

එනයින්, අද දින සිට බල පැවැත්වෙන පරිදි සමඟි ජන බලවේගයෙන් ඉල්ලා අස්වෙන බව මෙයින් දන්වා සිටිමි.

මෙතෙක් මා හට ලබා දුන් සහයෝගයට ස්තූතිවන්ත වන අතර, මෙම තීරණය මාගේ සේවය වඩාත් අර්ථවත් කිරීමේ පරමාර්ථයෙන්, නිදහස් මනසකින් යුතුව ගත් තීරණයක් බව දන්වා සිටිනු කැමැත්තෙමි.”

Shares: