ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක් විසින් පොලිස් නිලධාරියෙකුට කළ බව කියන පහරදීමක් සම්බන්ධව වාර්තා වන කරුණුවලට අදාළව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පසුගිය 20 වැනි දින රාත්‍රී 08.40ට පමණ සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු ඔහුගේ රාජකාරි නිම කර නිවසට යමින් සිටියදී කළුගල පන්සල අසලදී අදාළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් තමාට පහරදී යතුරුපැදිය පැහැරගෙන ගිය බවට 119 මධ්‍යස්ථානය මගින් කොළොන්න පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබුණු බවයි එහි දැක්වෙන්නේ.
එදින රාත්‍රී 10.10ට පමණ ජාතික ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා විසින් ද කළුගල සිට හල්වින්න දෙසට කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී සූරියකන්ද පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු ඔහුගේ යතුරුපැදිය හරස් කර තම කැබ් රථය නවතා මාර්ගය අවහිර කර පහරදීමට තැත් කළ බව දන්වමින් කොළොන්න පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එමෙන්ම පොලිස් කොස්තාපල්වරයාගේ යතුරුපැදිය කළුගල පන්සල අසල මාර්ගයේ තිබී කොළොන්න පොලිස් භාරයට ගෙන ඇති අතර අදාළ පොලිස් නිලධාරියා කොළොන්න රෝහලට ඇතුළත් වීමෙන් පසු ඇඹිලිපිටිය රෝහල වෙත මාරු කර යවා ඇති බවත් පොලීසිය එහි දක්වනවා.
අදාළ නිවේදනය මගින් පොලීසිය දැනුම් දෙන්නේ රෝහලේ රෝගී කාර්ය සටහන් වාර්තාවේ ප්‍රාශ්වාස වාතයේ ඇල්කොහොල් ගඳ වහනය වන බවට වෛද්‍ය වාර්තාවේ සටහන්ව ඇති බවත්, නිලධාරියාගේ මුත්‍රා සාම්පල්වල මත්ද්‍රව්‍ය සාන්ද්‍රනය නොමැති බැවින් රුධිරයේ සාම්පල් ලබා ගෙන මත්පැන් භාවිත කර සිට ඇද්ද යන්න පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත යොමු කිරීමට කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි.
එමෙන්ම සිදුවූ බව කියන මෙම සිදුවීම සම්බන්ධව ඇඹිලිපිටිය කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලීසිය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.











