දේශීය

දුම්කොළ සහ දුම්වැටි හේතුවෙන් වසරකට ලංකාවේ මරණ 22,000ක්

දුම්කොළ සහ දුම්වැටි භාවිතය හේතුවෙන් වාර්ෂිකව මරණ 22,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ මෙරට සිදුවන මරණ වලින් 83%ක් බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන අතර දුම්කොළ භාවිතය එහි ප්‍රධාන අවදානම් සාධක 4න් එකක් වන බවයි.

එමෙන්ම මෙරට වැඩිහිටියන් මිලියන 1.5ක් පමණ දුම්පානයට ඇබ්බැහි වී ඇති බවයි මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

එසේම ලෝකයේ සෑම තත්ත්පර 6කටම වරක් දුම්කොළ භාවිතය හේතුවෙන් මරණයක් වාර්තා වන බව ද දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලන උත්සාහයන් කෙරෙහි දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම්හි බලපෑම් යන මැයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, එම මාධ්‍ය හමුවට එක්වූ වෛද්‍ය සජීව රණවීර මහතා සඳහන් කළේ 2021 වර්ෂයෙන් පසු දුම්වැටි සඳහා අය කරන බදුවල අඩුවීමක් සිදුව ඇති බවයි.

Shares: