දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක හිමිකරුවකු ඝාතනය කිරීම, අපරාධ කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඊයේ (09) රාත්‍රී 9.10ට පමණ දෙහිවල ප්‍රදේශයේ හෝටල් හිමිකරුවකුට නාඳුන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා තිබූ අතර දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණේ.
පොලීසිය සඳහන් කළේ ඝාතනයට ලක්වූ පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේම පදිංචි 55 හැවිරිදි ඒ.ඩී. සනත් බාලසූරි ආරච්චි නමැති, “සනා මාමා” ලෙස හඳුන්වන පුද්ගලයෙකු බවයි.
සිද්ධිය සිදුවන අවස්ථාවේ හෝටලය තුළ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් අතරින් එක් අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඝාතනයට ලක්වූ පුද්ගලයා අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන “චූවා සමන්ත” නමැත්තාගේ සමීපතමයෙකු බවටයි තොරතුරු හෙළි වී ඇත්තේ.
පොලීසිය සඳහන් කළේ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන “බඩෝවිට අසංක” සහ “චූවා සමන්ත” අතර දිගු කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් විරසකයක් පැවති බවයි.
ඒ අනුව බඩෝවිට අසංකගේ පාර්ශ්වය විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
කෙසේ වෙතත්, ඝාතනයට ලක්වූ ඒ.ඩී. සනත් හෙවත් “සනා මාමා” නමැත්තාට මෙයට පෙර කිසිදු ජීවිත තර්ජනයක් ලැබී නොතිබූ බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.











