නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (10) අලුයම 7 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 60ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය වයඹ දෙසට ගමන් කර පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් අද දහවල් කාලයේදී, ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.
දිවයිනේ උතුර අර්ධයේ අහස වලාකුළින් බරව පවතින බවත්, උතුර පළාතෙත් පුත්තලම, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගුගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, උතුර පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් එහි සඳහන්.
එමෙන්ම කුරුණෑගල, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරෙනවා.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
එසේම උතුර පළාතේ විටින් විට හමන පැ.කි.මී. (50-60) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින්විට හමන පැ.කි.මී. 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
වයඹ පළාතෙත් මාතලේ, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තද සුළං අපේක්ෂා කරනවා.











