උණුසුම් පුවත්

රාජ්‍ය සේවයට 26,095ක් බඳවාගැනීමට අනුමැතිය

රාජ්‍ය සේවයට 26,095ක් අලුතින් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ගුරුවරු 23,344ක් ඇතුළුව මෙම බඳවා ගැනීම් සිදුකිරීමට නියමිත බවයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.

මෙම අනුමැතිය ලබා දී තිබුණේ රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු බඳවාගැනීම් ප්‍රමාණයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත්කිරීම සඳහා 2024/12/30 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි.

එම කමිටුව වෙත ඒ ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන, කමිටුව විසින් නිර්‌දේශ කරන ලද පහත සඳහන් බඳවාගැනීම් සිදු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතන වෙත අනුමැතිය ලබා දීමට අගමැතිනිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව,

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා – 442
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය – 452
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය – 705
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශය – 10
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය – 37

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය – 76
ආරක්ෂක අමාත්‍යාංශය – 102
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය – 19

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය – 10
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය – 01
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය -166
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශය – 167

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය – 33
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය – 50
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය – 23
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය – 248

මධ්‍යම පළාත් සභාව – 203
උතුරු මැද පළාත් සභාව – 06
ජාතික පොලිස් කොමිසන් සභාව – 01
ශ්‍රී ලංකා ගුරු සේවය සඳහා ගුරුවරු – 23,344

ලෙසින් 26,095ක පුරප්පාඩු ප්‍රමාණයක් බඳවා ගැනීමටයි අනුමැතිය හිමිව ඇත්තේ.

Shares: