දේශීය

කෝටියක් වටින කුෂ් තොගයක් සමඟ ව්‍යාපාරිකයෙක් කටුනායකදී අල්ලයි

රුපියල් කෝටියක් වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (20) අලුයම මෙම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළෙන් පිටකර යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසිනුයි සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු කොළඹ, මරදාන ප්‍රදේශයේ පදිංචි ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වා ගෙන යමින් සිටින ව්‍යාපාරිකයෙකු බව සඳහන්.

ඔහු මෙම ‘කුෂ් ‘ මත්ද්‍රව්‍ය තොගය මැලේසියාවෙන් මිලදී ගෙන ඉන් සිංගප්පූරුව වෙත පැමිණ, එතැන් සිට අද අලුයම 12.45ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව් – 468 දරණ ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔහු විසින් රැගෙන ආ අත් බෑගය තුළ ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 024ක ප්‍රමාණයක් ඇසුරුම් 03ක් ලෙස සකසා සඟවායි මෙරටට රැගෙන විත් ඇත්තේ.

සැකකරු සහ අදාළ මත්ද්‍රව්‍ය තොගය අද (20) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Shares: