විදෙස්

එප්ස්ටයින් සම්බන්ධතා සමාලෝචනයෙන් පසු ලෝක ආර්ථික සංසදයේ WEF ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

ලෝක ආර්ථික ක්ෂේත්‍රයේ විශාල බලපෑමක් ඇති සංවිධානයක් වන ලෝක ආර්ථික සංසදය (WEF) හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී බ්රොග් බ්රෙන්ඩෙ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ අභාවප්‍රාප්ත මූල්‍යකරු සහ ලිංගික අපරාධ චෝදනා ලැබූ ජෙෆ්රි එප්ස්ටින් සමඟ ඇති සම්බන්ධතා පිළිබඳ ස්වාධීන සමාලෝචනයකින් පසුවය.

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එප්ස්ටයින් ලිපිගොනු අනුව, 2018–2019 කාලය තුළ බ්‍රෙන්ඩ් මහතා එප්ස්ටයින් සමඟ ආහාර සංග්‍රහ තුනකට සහභාගී වී ඇති අතර, විද්‍යුත් තැපෑල සහ කෙටි පණිවුඩ මඟින් සන්නිවේදනය කර ඇති බව පිළිගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, එප්ස්ටයින්ගේ අතීත අපරාධ ක්‍රියාකාරකම් පිළිබඳව තමන් “සම්පූර්ණයෙන්ම නොදැන සිටි” බවත්, මෙම සමාලෝචනයෙන් පෙර හෙළි කළ තොරතුරු හැර අමතර ගැටළු අනාවරණය වී නොමැති බවත් WEF පවසයි.

බ්‍රෙන්ඩ් මහතා වසර අටකට වැඩි කාලයක් එම ධුරයේ කටයුතු කර ඇති අතර ඒ හේතුවෙන් “සංසදයේ වැදගත් කාර්යයන්ගේ අවධානය වෙනතකට යොමු නොවී ඉදිරියට ගෙන යාම මේ මොහොතේ වඩා වැදගත් යැයි ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

අන්තර්වාර සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඇලෝයිස් ස්වින්ගි කටයුතු කරන අතර ස්ථිර අනුප්‍රාප්තිකයෙකු තේරීමේ ක්‍රියාවලිය WEF භාරකාර මණ්ඩලය විසින් ආරම්භ කර තිබෙනවා.

WEF වාර්ෂික සමුළුව ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේ පැවැත්වෙන අතර, ලොව පුරා දේශපාලන, ව්‍යාපාරික සහ සමාජ නායකයින් එක්වෙමින් ගෝලීය ප්‍රශ්න පිළිබඳ සංවාද පැවැත්වීම එහි ප්‍රධාන අරමුණ වනවා.

එප්ස්ටයින් 2008 දී බාලවයස්කාරියකගෙන් ගණිකා වෘත්තියේ යෙදීමට ඉල්ලා සිටීම සම්බන්ධයෙන් වරදකරු වූ අතර, 2019 දී නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් සිටියදී මරණයට පත්විය. ඔහු සම්බන්ධ ලිපිගොනු නිකුත් වීමත් සමඟ ලොව පුරා ප්‍රසිද්ධ පුද්ගලයින් රැසක් පරීක්ෂාවට ලක්ව තිබෙනවා.

ගෝලීය දේශපාලනය හා ආර්ථිකය සම්බන්ධ නවතම තොරතුරු සඳහා අප සමඟ දිගටම රැඳී සිටින්න.

Shares: