ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින මුස්ලිම් ප්‍රජාවට ඊදුල් ෆිතර් උත්සවය වෙනුවෙන් සිය හෘදයාංගම සුබ පැතුම් එක් කරමින් විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
රාමසාන් මාසය තුළ උපවාසය, පරිත්‍යාගශීලීත්වය, ස්වයං සංයමය සහ අනුකම්පාව වර්ධනය කරන අගනා ආධ්‍යාත්මික පුරුද්දක් බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. එමඟින් මිනිසුන් අතර සහෝදරත්වය, සංවේදනය සහ සමාජීය එකමුතුව තවදුරටත් ශක්තිමත් වන බව ද ඔහු පෙන්වා දුන්නා.
ඊදුල් ෆිතර් උත්සවය, අනුකම්පාව හා මනුෂ්‍යත්වය පදනම් කරගත් ජීවන මාර්ගයක් ලෝකයට ඉගැන්වෙන අගනා අවස්ථාවක් බවත්, වර්තමාන ගෝලීය අභියෝග අතර සාමය, සමානාත්මතාවය සහ සහජීවනය වඩාත් වැදගත් වන බවත් ජනාධිපතිවරයා සිය පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
තවද, රට මුහුණ දෙන අභියෝගයන් ජය ගැනීමට සියලු ජනතාව එකමුතුව කටයුතු කළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා, සියලු දෙනාට සාමකාමී හා සතුටින් පිරි රාමසාන් උත්සවයක් ප්‍රාර්ථනා කළා.










