උණුසුම් පුවත්දේශීය

නුවරඑළියේ දිස්ත්‍රික්කයේ ළමා මුඛ සෞඛ්‍යය අවදානම 60%යි

නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වන ළමුන්ගෙන් 60%කට ආසන්න පිරිසක් දුර්වල මුඛ සෞඛ්‍ය තත්ත්වයෙන් පෙළෙන බව අනාවරණය වී තිබෙනවා. මෙම කරුණු අනාවරණය කරනු ලැබුවේ මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය එම්. එච්. ඒ. එම්. ඉර්ෂාන් මහතා විසිනුයි.

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව පැවති දැනුවත් කිරීමේ ප්‍රදර්ශනයකදී ඔහු පෙන්වා දුන්නේ, අඹගමුව, මස්කෙළිය සහ බොගවන්තලාව ප්‍රදේශවල සිදුකළ සායනික සමීක්ෂණ මගින් මෙම ගැටළුව විශේෂයෙන් පැහැදිලිව හඳුනාගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, දරුවන්ට පමණක් නොව දෙමාපියන්ද ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහන් හරහා මෙම ගැටළුව සැලකිය යුතු ලෙස අඩු කිරීමට හැකියාව ඇති බවත්, මුඛ සෞඛ්‍ය පිළිබඳ හොඳ පුරුදු ඉගැන්වීම ඉතා වැදගත් බවත් වෛද්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

මෙවැනි ප්‍රදර්ශන මෙම වසරේ සිව්වන වරටත් සංවිධානය කර තිබීම, ළමා සෞඛ්‍යය වර්ධනයට දීර්ඝකාලීන වශයෙන් ඵලදායී පියවරක් ලෙස සැලකෙනවා.

අනාගත පරපුරක් සෞඛ්‍ය සම්පන්නව ගොඩනැගීමට නම්, කුඩා වියේ සිටම නිවැරදි මුඛ සෞඛ්‍ය පුරුදු ගොඩනැගීම අත්‍යවශ්‍යයයි.

Shares: