දේශීය

මාසයක් තුළ මෙහෙකාර සේවයේ යෙදවූ දරුවන් හා වීදි දරුවන් 300 ක් හමුවෙලා..

මාසයක් ඇතුළත, මෙහෙකාර සේවයේ සහ වීදි දරුවන් වශයෙන් සිටි දරුවන් 300 දෙනෙකු සොයාගත් බවත්, ඉන් 26 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් සොයාගත් බවත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පවසනවා.

ළමා මෙහෙකාර සේවයේ යොදවන අවුරුදු 16 ට අඩු දරුවන්ගේ සොයාබැලීම සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරිය මේ බව කියා සිටියේ.

ළමා ආරක්ෂණ අධිකාරියට ලැබුණු තොරතුරු අනුව මෙම දරුවන් සොයාගත් බවත්, ඔවුන්ගේ රැකවරණය සහතික කළ හැකි භාරකරුවන් සොයා ඔවුන්ට එම දරුවන් භාරදෙන බවද අමාත්‍යවරිය සඳහන් කළා.

එම දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු නිවැරදිව පවත්වාගෙන යාමටත්, ඊට පහසුකම් ලබාදීම සඳහා රජය මැදිහත්වන බවයි අමාත්‍යවරිය කියා සිටියේ.

මීට අමතරව මෙම දරුවන් ළමා මෙහෙකාර සේවයේ යෙදවීමට සහ වීදිවල යෙදවීමට කටයුතු කරනලද පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවද ඇය ප්‍රකාශ කළා.

පෝල්රාජ් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ ළමා මෙහෙකාර සේවය වැළැක්වීමට සහ වීදි දරුවන් සිඟමනේ යෙදවීම වළැක්වීම සඳහා ළමා ආරක්ෂණ අධිකාරිය විසින් නිරන්තරයෙන් සොයාබලන බවයි.

Shares: