උණුසුම් පුවත්

අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ඉදිරියේ දී ලංකාවට

ඉන්දුනීසියාවේ දී සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ව ඉදිරි දින දෙක තුන තුළ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, වත්මන් රජය ජනතාවට පොරොන්දු වූ පරිදි නීතිය පසඳලීමේ ආයතනවල ස්වාධීනත්වය ඇති කර ඇති බවයි.

ඒ අනුව සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බවත් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ඉන්දුනීසියානු පොලීසිය එක්ව සිදුකළ දින 7ක ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් බව ද ආනන්ද විජේපාල අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

අදාළ මෙහෙයුම සඳහා ඉන්දියානු බුද්ධි අංශවල සහායද හිමි වූ අතර, ඒ අනුව සැලැස්ම ක්‍රියාත්මක කළ බවත්, මේ වනවිට අඩපණ වී තිබූ බුද්ධි අංශයේ යම් යම් කොටස් සක්‍රීය වී ඇති බවයි විජේපාල මහතා කියා සිටියේ.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ බොහෝ අවස්ථාවලදී සංවිධානාත්මක අපරාධ වර්ධනය වී ඇත්තේ, දේශපාලනඥයින්ගේ ආශිර්වාදයෙන් බවත්, ඔවුන්ගේ පැවැත්ම සහ බලය රඳවා ගැනීමට සංවිධානාත්මක අපරාධකරුවන්ව පෝෂණය කර ඇති බවටයි.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු රජයක් ලෙස ඒ සියල්ල නතර කර ඇති බවත්, මේ වනවිට සංවිධානාත්මක අපරාධකරුවන්ව නිර්මාණය කළ දේශපාලනඥයින් හා ඔවුන්ගේ සබඳතා පිළිබඳ සුපරික්ෂාකාරීව සොයා බලමින් සිටින බවත් ඔහු මෙහිදී කියා සිටියා.

එවැනි අයගේ දේපොළ සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශන සිදුකරන බවත්, සංවිධානාත්මක අපරාධ රැසකට දේශපාලන සබඳතා ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා, නුදුරේ දීම ඒ පිළිබඳ හෙළි කරන බවයි ප්‍රකාශ කළේ.

“නීතියට උඩින් කිසිවක් නෑ. කිසිදු තරතිරමක් නීතිය ඉදිරියේ අපිට අදාළ නෑ. නීතිය ඉදිරියේ සියලුදෙනා එක හා සමානයි. මේ සමාජයට අපි ඒක භාවිතයක් විදියට ගේනවා. නීතියට උඩින් කිසිවෙකුටත් ඉන්න අපි ඉඩ තියෙන්නේ නෑ. ඒ ගැන අපි සමාජයට අවධාරණය කරනවා. අපේ තියෙන දේශපාලන උවමනාව තමා රටට යුක්තිය, සාධාරණත්වය ලබාදීම. ඒ වගේම නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම හා නීතිය සැමට සමානයි යන පණිවුඩය සමාජයට ලබාදීම. ප්‍රමිතිගත සමාජයක් බවට පත්කර ගැනීම තුළින් තමා අපි සියලුදෙනාට සතුටින් ජීවිත් විය හැකි වන්නේ. ඒ නිසා අපි පොරොන්දු වු පරිදිම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සමාජයට ලබාදීමේ කර්තව්‍යයේ නියැලෙනවා. ඒ කරුණු අතර අපිට සුවිශේෂි වෙනවා සංවිධානාත්මක අපරාධකරුවන් නීතියට කොටු කරගැනීම. මේ වෙනවිට 75කට ආසන්න ප්‍රමාණයකට රතු වරෙන්තු නිකුත් කරලා තියෙනවා. එයින් 20 අධික ප්‍රමාණයක් ලංකාවට අරන් ඇවිත් තියෙනවා. ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වෙමින් තියෙනවා. දැනට ඉන්දුනීසියාව භාරයේ ඉන්න අයව මෙරටට ගෙන්වීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතිනවා. ඔවුන්ව මෙරටට ගෙන ආ පසු ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ඒ නිසා අපි පාතාලය වේවා, දේශපාලනඥයින් වේවා, පොලීසිය වේවා, නිලධාරීන් වේවා සියලුදෙනාට නීතිය යටත්, නීතිය ක්‍රියාත්මක රටක් බවට අපි පත්කරනවා. බලය භාවිත කරමින් සමාජයේ හැසිරීමට අපි ඉඩදෙන්නේ නෑ”

Shares: