දේශීය

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීමේ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන්

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන් කරන බව එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා පවසනවා.

එම පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත්කළ කමිටුව ඊයේ පස්වරුවේ (27) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී රැස්වු අවස්ථාවේදී යි ඔහු මෙම අදහස් පළ කළේ.

මේ වන විට පනත් කෙටුම්පතට ගෙන එනු ලබන සංශෝධන සම්බන්ධයෙන් විමර්ශනාත්මකව දෙවැනි වරටත් පරීක්ෂා කිරීම සිදු කරමින් පවතින බවද සභාපතිවරයා කියා සිටියා.

මෙරට බලපැවැත්වෙන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ ( තාවකාලික විධිවිධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට ලද කැබ්නට් අනුමැතිය මත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් විද්වත් කමිටුවක් පත් කළ අතර, නව පනතක් හඳුන්වාදීම තුළින් නූතන ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණදීම, දේශිය සහ විදේශිය වශයෙන් පුද්ගලයන්ගේ මානව හිමිකම් සහ අන්තර්ජාතිකව පිළිගන්නාවු ප්‍රමිතීන්ට අනුගතවීම අදහස් කරනු ලබන බවයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මගින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙන්නේ.

Shares: