උණුසුම් පුවත්

වරෙන්තු නිකුත් කර තිබෙන රාජිත අද අධිකරණය හමුවට

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (29) අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත වනවා.

ඒ මහතාට අද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය 20වැනිදායි නොතිසි නිකුත් කර තිබුණේ.

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය විසින් අපරාධ නඩු විධානසංග්‍රහයේ 60(1) වගන්තිය යටතේ ‘ප්‍රකාශනයක්’ නිකුත් කරමින් මෙම නොතීසිය නිකුත් කරනු ලැබුවා.

මේ අතර කොළඹ මහාධිකරණය ඊයේ (28) තීරණය කළේ අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට එරෙහිව නිකුත් කර තිබෙන වරෙන්තුව ප්‍රතිශෝධනය කර අවලංගු කරන්නැයි ඉල්ලා රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමටයි.

ඒ අනුව පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්ට නොතිසි නිකුත් කරන ලෙසයි කොළඹ මහාධිකරණය නියම කර තිබුණේ.

කෙසේ වෙතත් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සිය සේවාදායකයා වෙත නිකුත් කළ නොතිසියට අනුව ඔහු අනිවාර්යයෙන්ම අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තුව අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් විනිසුරුවරිය නියෝගයක් ලබාදී නැහැ.

නීතිමය ක්‍රියා පටිපාටියට පටහැනි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් 2012 වර්ෂයේ රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2013 වසරේ ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව මෙම විමර්ශනය සිදුකරනු ලබනවා.

Shares: