පාරිභෝගිකයින්ට අසාධාරණ ලෙස ඉහළ මිල ගණන් යටතේ සහල් සහ බෝතල් කළ පානීය ජලය අලෙවි කළ වෙළඳසැල් කිහිපයකට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) විසින් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
අප්‍රේල් 24 වන දින හදිසි වැටලීම් ක්‍රියාත්මක කරමින් නුවර, ත්‍රිකුණාමලය, ගාල්ල, තංගල්ල, ගිරන්දුරුකෝට්ටේ සහ හපුතලේ යන ප්‍රදේශවල වෙළඳසැල් පරීක්ෂාවට ලක් කල අවස්ථාවේ මෙය සොයාගැනීමට හැකි වී තිබෙනවා.
මෙම වැටලීම් අතරතුරදී, කීරි සම්බා ඇතුළු සහල් වර්ග නියමිත උපරිම මිලට වඩා ඉහළ මිලට අලෙවි කර ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව ඊට සම්බන්ධ වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීමට CAA කටයුතු කර තිබෙනවා.
අධිකරණ තීන්දුවට අනුව,
ත්‍රිකුණාමලයෙන් වෙළඳුන් එක් අයෙකුට රු. 100,000 දඩ, ගාල්ලෙන් වෙළඳුන් 2 දෙනෙකුට රු. 100,000 බැගින්, තංගල්ලෙන් වෙළඳුන් 2 දෙනෙකුට රු. 100,000 බැගින්, ගිරන්දුරුකෝට්ටේ වෙළඳුන් 1 දෙනෙකුට රු. 100,000 දඩ, හපුතලේ වෙළඳසැල් හිමියෙකුට රු. 500,000 දඩ නියම කර තිබෙනවා.
එමෙන්ම, බෝතල් කළ පානීය ජලය නියමිත උපරිම මිල ඉක්මවා අලෙවි කළ තවත් ව්‍යාපාර දෙකක් පිළිබඳවද හදිසි පරීක්ෂාවන් සිදු කර තිබුණා.
ඒ අනුව අධිකරණයෙන්, හපුතලේ ව්‍යාපාරිකයෙකුට රු. 1,000,000 දඩයක්, අනුරාධපුර එක් අයෙකුට රු. 100,000 දඩයක් නියම කර තිබෙනවා.
පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මෙවැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව තවදුරටත් දැඩි පියවර ගන්නා බව CAA අවධාරණය කර තිබෙනවා.









