ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගි වීමට නියමිත වනවා.
යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන් වන අදියර අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙනු ඇති.
මේ යටතේ උතුර පළාතේ ධීවර ප්‍රජාවට මෙන්ම, නැගෙනහිර සහ දකුණ පළාත්වල සිට පැමිණෙන ධීවර බෝට්ටු සඳහාද ජලය, විදුලිය, ඉන්ධන ආදී මූලික සහ අත්‍යාවශ්‍ය පහසුකම්, ශීතාගාර පහසුකම්, දැල් සැකසීමේ මධ්‍යස්ථාන පහසුකම්, වෙන්දේසි ශාලා පහසුකම් සහ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන පහසුකම්ද සලසා දීමටයි සැලසුම් කර ඇත්තේ.
ධීවර වරායේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවෙන් පසුව එම ස්ථානයේ පැවැත්වෙන ජන හමුවකටද ජනාධිපතිවරයා එක්වීමට නියමිතයි.
මේ අතර, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙනවා.
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රය තුළ ස්ථාපිත කෙරුණු මෙම කාර්යාලය නවීන තාක්ෂණය ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතයි.
උතුර පළාතෙන් විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම්පත් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින හෙයින්, වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක අවශ්‍යතාව ඉටු කරමිනුයි මෙම ප්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරෙන්නේ.
මේ අතර, යාපනය පුස්තකාලයේ ඊ-පුස්තකාල (E Library) වැඩසටහනද අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන අතර, මේ සමඟ ලොව ඕනෑම ස්ථානයක සිටින පුද්ගලයකුට යාපනය මහජන පුස්තකාලයේ ඇති ග්‍රන්ථ අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කිරීමට අවස්ථාව උදා වනවා.
යෝජිත යාපනය නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම්‍ද අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන අතර, ඉන් අනතුරුව එම ස්ථානයේ පැවැත්වෙන ජන හමුවක් සඳහාද ජනාධිපතිවරයා එක්වනු ඇති.











