දේශීය

සමාජ සාධාරණත්වය හා පාලකයන්ගේ වගවීම පිළිබඳ නබිතුමන්ගේ ඉගැන්වීම් වර්තමාන සමාජයට වෙන කවරදාටත් වඩා අදාළයි – අග්‍රාමාත්‍ය

සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය, පීඩිත ජනයා කෙරෙහි දක්වන කරුණාව සහ පාලකයන්ගේ වගවීම පිළිබඳ මුහම්මද් නබි නායකතුමන්ගේ ඉගැන්වීම්, වර්තමාන සමාජයට වෙන කවරදාටත් වඩා අදාළවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනුයි ඇය මේ බව සඳහන් කළේ.

එමෙන්ම අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ අප රටක් ලෙස නව සමාජ පරිවර්තනයක් අපේක්ෂා කරන මේ මොහොතේ, දූෂණයෙන් හා විෂමතාවයෙන් තොර සාධාරණ පාලනයක් පිළිබඳ නබිතුමන්ගේ ආදර්ශයන්, රජයට මහත් ශක්තියක් සහ පෙළඹවීමක් සපයන බවයි.

අගමැතිනියගේ සුබපැතුම් නිවේදනය පහතින්,

”ශ්‍රී ලංකාවාසී මෙන්ම ලොව පුරා වෙසෙන සමස්ත ඉස්ලාම් බැතිමතුන්ට, මුහම්මද් නබි නායකතුමන්ගේ උතුම් ජන්ම දිනය සමරන මෙම ශුද්ධ වූ දිනයේදී, මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

මුහම්මද් නබි නායකතුමන්ගේ ඉගැන්වීම්, හුදෙක් ආගමික රාමුවකට සීමා නොවූ, සමස්ත මානව වර්ගයාගේ යහපත උදෙසා වූ විශ්වීය මානුෂීය ප්‍රතිපත්ති මාලාවකි. විශේෂයෙන්ම, සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය, පීඩිත ජනයා කෙරෙහි දක්වන කරුණාව සහ පාලකයන්ගේ වගවීම පිළිබඳ එතුමන්ගේ ඉගැන්වීම්, වර්තමාන සමාජයට වෙන කවරදාටත් වඩා අදාළ වේ.

එතුමන්ගේ පණිවිඩය, එකල පැවති අසාධාරණ, ගෝත්‍රිකවාදී සහ දූෂිත සමාජ ක්‍රමයට එරෙහිව නැගුණු විප්ලවීය ප්‍රකාශනයක් විය. එය, මිනිසා විසින් මිනිසාව සූරාකෑමෙන් තොර, සියලු දෙනාටම ගෞරවයෙන් ජීවත් විය හැකි සමාජයක් පිළිබඳව වූ උදාර දැක්මකි. අප රටක් ලෙස නව සමාජ පරිවර්තනයක් අපේක්ෂා කරන මේ මොහොතේ, දූෂණයෙන් හා විෂමතාවයෙන් තොර සාධාරණ පාලනයක් පිළිබඳ එම ආදර්ශයන්, අපට මහත් ශක්තියක් සහ පෙළඹවීමක් සපයයි.

ශ්‍රී ලංකාවේ ප්‍රගමනය උදෙසා මුස්ලිම් ප්‍රජාව දක්වා ඇති ඓතිහාසික දායකත්වය ගෞරවයෙන් සිහිපත් කරන අතර, මෙම උතුම් ඉගැන්වීම් ආදර්ශයට ගනිමින්, සියලු ජනතාවට සාධාරණය ඉටු වන, මානුෂීය සහ සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට එක්වන ලෙස මම ඔබ සැමට ආරාධනා කරමි.

සැමට සාමය සතුට සපිරි මිලාද් උන්-නබි දිනයක් වේවා!”

Shares: