රට තුළ මේ වන විට පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (15) අදහස් දැක්වීමක් සිදු කළා.
මේ සම්බන්ධව තොරතුරු පාරිභෝගික කටයටුතු පිළිබඳ අධිකාරියට ලැබුණු බවත්, සිදුකළ සොයා බැලීමකදි එවැනි සහල් හිඟයක් සම්බන්ධව අධිකාරියට කරුණු අනාවරණය වූ බවයි එහිදී අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ.
ඔහු ප්‍රකාශ කළේ ගැසට් පත්‍රයක් මගින් සහල් සඳහා පාලන මිලක් නියම කර ඇති බවත්, එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරන්නේ නම් පවත්නා නීතිය යටතේ අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීමට අධිකාරිය පියවර ගනු ලබන බවයි.
මේ හේතුවෙන් ගැසට් පත්‍රයට අනුකූල ලෙස කටයුතු කළ හැකි පරිදි වී මිලදී ගැනීම් ක්‍රියාවන් සිදුකරන ලෙස මෙන්ම සහල් අලෙවි කිරීමේ කටයුතු සිදු කරන ලෙසත් තමන් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා මෙහිදී අවධාරණය කරනු ලැබුවා.
එමෙන්ම සහල් සම්බන්ධ වැටලීම් අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවත්, මේ සඳහා පාරිභෝගික නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි සභාපතිවරයා මෙහිදී කියා සිටියේ.
තවද සහල් සම්බන්ධ වැටලීම් මේ වන විට 3,000ක් ඉක්මවා සිදුකර ඇතැයිද ඉන් 1,000කට ආසන්න ප්‍රමාණයකට මේ වන විට නීතිමය කටයුතු සිදුකර ඇතැයිද මිලියන 95කට ආසන්න ප්‍රමාණයක් අයකරගෙන ඇතැයිද ඔහු අනාවරණය කළා.
කෙසේ නමුත් පවතින සහල් හිඟය සම්බන්ධව අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ එය පාදක කරගනිමින් නිකුත් කර ඇති ගැසට් පත්‍රය සංශෝධනය කිරීමක් සිදු කිරීමේ කිසිදු අපේක්ෂාවක් මේ වන විට නොමැති බවයි.
මේ හේතුවෙන් ගැසට් පත්‍රයේ සඳහන් මිලට සහල් අලෙවි කරන ලෙසත්, වී මිලදී ගැනීම් සිදුකරන ලෙසත් තමන් විශේෂයෙන් සියලු පාර්ශ්ව වෙත දන්වන බවද සමරකෝන් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් දන්වා සිටියා.











