දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත්, එමඟින් ශ්‍රී ලංකාවට නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක බැංකු නියෝජිතයින් හමුවේ පවසා තිබෙනවා.
මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති ජොහැන්නස් සට් (Johannes Zutt) මහතා ඇතුළු ලෝක බැංකු නියෝජිත කණ්ඩායම ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදීයි මේ බව සඳහන් කළේ.
මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණේ ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු සමූහයේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳවයි.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ ලෝක බැංකු නියෝජිතයන් ආර්ථික වර්ධනය සහ රැකියා උත්පාදනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසයි යෝජනා කළේ.
ඩිජිටල්කරණය, සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය ඇතුළු කෙටිකාලීව ප්‍රතිලාභ ලබා ගත හැකි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම මෙන්ම උතුර, නැගෙනහිර සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු වුණා.
ඒ අනුව මෙහිදී අනාවරණය වූයේ ශ්‍රී ලංකා රජය විසින් ලෝක බැංකුව වෙත ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙළ සඳහා ආධාර අනුමත කිරීම සිදුකර තිබෙන බවයි.
නව ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ ඒ වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරව පත්වාගෙන යමින් ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා, දූෂිත රටක් ලෙස ජාත්‍යන්තරය තුළ ලේබල් වී තිබු ශ්‍රී ලංකාව වත්මන් රජය ගෙන යන විනිවිඳභාවයෙන් යුත් වැඩපිළිවෙළ හේතුවෙන් ආර්ථික, දේශපාලනික හා සමාජිය වශයෙන් කෙමෙන් ස්ථාවර වෙමින් තිබෙන බවයි ප්‍රකාශ කළේ.
ලෝක බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ ආංශික අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් (David Sislen),ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා කළමනාකරු ගෙවෝර්ග් සාර්කිසියන් (Gevorg Sargsyan) යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූවා.











