රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට නම් සියලු ක්ෂේත්රවල කාර්යක්ෂමතාව සහ විනිවිඳභාවය තහවුරු කළ යුතු බවත්, වත්මන් රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව ආර්ථික මෙන්ම සමාජයීය වශයෙන් නව තලයකට ඔසවා තැබෙන වැඩපිළිවෙළක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය (2025- 2029) හඳුන්වා දීම සහ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) විවෘත කිරීමේ අවස්ථාවට අද (19) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී එක් වෙමින්.
ඩිජිටල් ආර්ථික පරිවර්තන වැඩපිළිවෙළෙහි සුවිශේෂී අවස්ථාවක් ලෙස ආරක්ෂිත, විශ්වාසනීය සහ සියලු පුරවැසියන් ආවරණය කෙරෙන ඩිජිටල් පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT), ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව ලෝක බැංකුවේ තාක්ෂණික සහායද ඇතිව ශ්‍රි ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය 2025-2029 හඳුන්වා දී තිබෙනවා.
සයිබර් ආරක්ෂණය සඳහා අවශ්‍ය නීති සහ පරිපාලන රාමුව සකස් කිරීම, සයිබර් ආරක්ෂණය පිළිබඳ දැනුම සහ කුසලතාවලින් පරිපූර්ණ වූ ශ්‍රම බළකායක් නිර්මාණය කිරීම, මහජනතාවගේ සහ පාසල් දරුවන්ගේ සයිබර් ආරක්ෂණය පිළිබඳ දැනුම සහ ආකල්ප වර්ධනය, රාජ්‍ය ආයතනවල සයිබර් ආරක්ෂණ සූදානම වැඩිදියුණු කිරීම, ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ ධාරිතාව වැඩිදියුණු කිරීම, තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් පවත්වාගෙන යන ආයතන ආරක්ෂා කිරීම සහ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා විවිධ පාර්ශ්ව සමඟ සහයෝගීතාව වර්ධනය කිරීම මෙම මූලෝපායේ අරමුණයි.
අද ආරම්භ කෙරුණු ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය මඟින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් පවත්වා ගෙන යන ආයතන 37ක් දවසේ පැය 24 පුරා නිරීක්ෂණය කරමින්, ඒවාට එල්ල වන සයිබර් ප්‍රහාර හඳුනාගැනීමට කටයුතු කරනු ලබනවා.
සයිබර් තර්ජන, අවදානම් සහ ආක්‍රමණ අඛණ්ඩව නිරීක්ෂණය කිරීමෙන් සහ සුදුසු පාර්ශ්වකරුවන්ට වහාම දැනුම් දීමෙන් රජයේ සයිබර් පද්ධති සහ පොදු ඩිජිටල් සේවා ආරක්ෂා කිරීම මෙහි වගකීමයි.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පද්ධතියේ ආරක්ෂාව සහ ඔරොත්තූ දීමේ හැකියාව වැඩිදියුණු කිරීම, සයිබර් සහ අවදානම් සඳහා පුර්ව අනතුරු ඇඟවීම සහ වේගවත් ප්‍රතිචාර සැපයීම, ආරක්ෂිත ඩිජිටල් මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයට සහාය වීම සහ දැනුවත් කිරීම මෙම මධ්‍යස්ථානය මඟින් සිදුකරනු ඇති.
එමෙන්ම මෙහෙයුම් අඛණ්ඩතාව, වේගවත් ප්‍රතිචාර, අඩු පිරිවැය, අනුකූලතාව සහ විශ්වාසය මෙහි ප්රතිලාභ වනවා.
මෙම ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය (2025- 2029) ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා විසිනුයි ජනාධිපති සහ ඩිජිටල් ආර්ථික අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වනු ලැබුවේ.
මෙහිදී අදහස් දැක් වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තාක්ෂණය සහ විද්‍යාව අත්පත් කරගන්නා ජයග්‍රහණ වේගයෙන් උකහා ගැනීමට සමත් රාජ්‍ය ඉතා ඉක්මනින් දියුණුවේ හිණි පෙත්තටම ගමන් කරන බවයි.
මෙම ජාතික සයිබර් ආරක්ෂණ පද්ධතිය අපේ රටේ ජාතික ආරක්ෂාවටත්, ජාතික ආර්ථිකයටත්, පුරවැසියන්ගේ ජීවන රටාව පිළිබඳ ආරක්ෂණයේදීත් ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනු ඇතැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.











