උණුසුම් පුවත්

ජනපති සහ ඕස්ට්‍රේලියා අගමැති අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඕස්ට්‍රේලියා අගමැති ඇන්තනී ඇල්බනීස් (Anthony Albanese) මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී ඊයේ (24) පස්වරුවේ පවත්වා තිබෙනවා.

ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා අමෙරිකා එක්සත් ජනපදයට ගොස් සිටින අවස්ථාවේදීයි.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා ඉතා උණුසුම් ලෙසයි පිළිගනු ලැබුවේ.

දෙරට අතර නායකයෝ එහිදී සාකච්ඡා කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගනිමින්, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳවයි.

එමෙන්ම දෙරට අතර සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය මෙන්ම, නව ආයෝජන සහ වෙළෙඳපොළ අවස්ථා පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරුණා.

මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පෘතුගාල ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා (Marcelo Rebelo de Sousa) මහතා අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී ඊයේ පස්වරුවේ දීයි පැවැත්වුණේ.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෘතුගාල ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා මහතාව ඉතා මිත්‍රශීලිව පිළිගනු ලැබු අතර නායක දෙපළ අතර සුහද කතාබහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණා.

එහිදී විශේෂ අවධානය යොමු වුණේ ශ්‍රී ලංකාව සහ පෘතුගාලය අතර වෙළෙඳ සහ සංචාරක සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳවයි.

Shares: