2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්‍ර සේනානායකට හම්බන්තොට මහාධිකරණයේ දී ඊයේ (25) අධිචෝදනා භාර දී තිබෙනවා.
මෙම චෝදනා යටතේ සචිත්‍ර සේනානායකට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබුණේ පසුගිය ජුනි මස 05 වෙනිදායි.
ඒ අනුව හම්බන්තොට මහාධිකරණ විනිසුරු දුමින්ද මුදුන්කොටුව මහතා ඉදිරියේදී ඔහුට අධිචෝදනා භාරදීම සිදු කෙරුණා.
සචිත්‍ර සේනානායක වෙනුවෙන් පෙනීසිටි අජිත් පතිරණ මහතා ප්‍රමුඛ නීතිඥ කණ්ඩායම විසින් අධිකරණය මහින් ඉල්ලා සිටියේ ඔහු විදේශ රටක ක්‍රීඩා කරමින් සිටින බැවින් හා විදෙස් රටක රැකියාවක නිරතව සිටින බැවින් පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත්කරන ලෙසයි.
පසුව එය සලකාබලමින් නොවැම්බර් 27 තෙක් තාවකාලිකව ඔහුට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කිරීමටයි අධිකරණ විනිසුරුවරයා කටයුතු කළේ.
එමෙන්ම අධිකරණය විසින් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සචිත්‍ර සේනානායක මුදා හැරීමටත්, නැවත මෙම නඩුව 2025 නොවැම්බර් 27ට කැඳවීමටත් නියෝග කරනු ලැබුවා.
මීට පෙර 2025 ජුලි 09 දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේ සචිත්‍ර එම නඩුවට පෙනී නොසිටි අතර එහිදී අද දින අනිවාර්යයෙන්ම අධිකරණයේ පෙනී සිටින ලෙසයි අධිකරණය මගින් එදින නියම කර තිබුණේ.
මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටියේ රජයේ අධිනීතිඥ අකිලා දල්පදාතු මහතායි.
ක්‍රීඩා දූෂණ වැළක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රීඩකයෙකුට තරග පාවා දීමක් යටතේ නඩු ගොනුකළ පළමු අවස්ථාව මෙය වනවා.
එමෙන්ම තරග පාවාදීම අපරාධමය වරදක් ලෙසින් දකුණු ආසියාවේ ජාතික තලයේ ක්‍රීඩකයෙකුට අධිකරණයක නඩු පැවරූ පළමු අවස්ථාව ද මෙය බවයි වාර්තා වන්නේ.










