මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන සාධිකා ලක්ෂානි නමැත්තිය සතුව තිබු ඇයගේ ජංගම දුරකථන පිළිබඳව විමර්ශනයක් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (29) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
මෙම පැමිණිල්ල අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකළ මෝසමක් මාර්ගයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ දීයි කැඳවනු ලැබුවේ.
එහිදී පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාරීය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී සොයා ගන්නා ලද ජංගම දුරකථන දෙකෙහි සැකකාරියගේ “මුහුණු මුරපදය” තිබෙන බවත් එය ඉවත් කර ගැනීමට අවශ්‍ය බවත් පවසා සිටියා.
පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන සිදුකිරීම සඳහා අදාළ ජංගම දුරකථන දෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික විද්‍යාගාරය වෙත යොමු කිරීමට නියමිත බවයි.
ඉකුත්දා ඉන්දුනියසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන යන ලද මෙම සැකකාරිය මිද්දෙණිය ප්‍රදේශයේ පැවති මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ ජාලය සමග සම්බන්ධ වී කටයුතු කර තිබේදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරමිනුයි සිටින්නේ.
මෙහිදී මෙම සැකකාරියට එරෙහිව පවතින සාක්ෂි පිළිබඳ සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් මීළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් ඉකුත් නඩු දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබුණා.











