දේශීය

වැඩි මිලට වතුර බෝතල් විකුණූ ව්‍යාපාරික ස්ථානයකට ලක්ෂ 6ක දඩයක්

පාලන මිලට වඩා ඉහළ මිලකට පානීය ජල බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කෙරුණු කොළොන්නාව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ හයක දඩයක් නියම කර තිබෙනවා.

මෙම නඩුව ගොනුකර ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නාරාහේන්පිට දිස්ත්‍රික් කාර්යාලය විසිනුයි.

සැකකාර ව්‍යාපාරික ආයතනය විසින් මිලිමීටර් පන්සීයේ පානීය ජල බෝතලයක් සඳහා වූ පාලන මිල ලෙස රුපියල් 70/- ක් නියම කර තිබියදී එය රුපියල් 90/- කට විකිණීම තුළින් වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමිනුයි මෙම නඩුව ගොනුකර තිබුණේ.

එම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී සැකකාර ආයතනය අධිකරණය හමුවේ වරද පිළිගනු ලැබුවා.

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම වරද සඳහා රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් ලක්ෂ පනහක් දක්වා දඩ නියම කිරීමට අධිකරණයට හැකියාව තිබෙන බවයි.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මෙම ව්‍යපාරික ආයතනයට රුපියල් ලක්ෂ හයක දඩයක් නියම කළා.

Shares: