මැද පෙරදිගට නව ආරම්භයක් සනිටුහන් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඊශ්‍රායල පාර්ලිමේන්තුව අමතමිනුයි ට්‍රම්ප් මේ බව කියා සිටියේ.
අමෙරිකානු ජනාධිපතිවරයා අද දහවල් ඊශ්‍රායල පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ඔහු පාර්ලිමේන්තුවට හඳුන්වා දෙනු ලැබුවා.
එහිදි සාමය උදෙසා ට්‍රම්ප් ගත් උත්සහය පිළිබදව ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ ස්තූතිය ද පළ වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
පාර්ලිමේන්තුව අමතමින් ට්‍රම්ප් පැවසුවේ අද දිනය “ඛේදජනක වසර දෙකකට” පසු “ගැඹුරු ප්‍රීතියේ දිනයක්” බවයි.
එමෙන්ම මෙම අවස්ථාව “යුද්ධයක අවසානය පමණක් නොව” “ඉක්මනින් විශ්මය ජනක කලාපයක්” සඳහා නව යුගයක හැකියාව ද නියෝජනය කරන බවයි ඔහු කියා සිටියේ.
ගාසා තීරයේ ගැටුම් අවසන් කර සාම ගිවිසුමකට එළඹීම යටතේ හමාස් සංවිධානය විසින් ඔවුන් භාරයේ ජීවත්ව සිටි සියලු ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් අද දිනයේ නිදහස් කෙරුණු අතර ඊශ්‍රායලය විසින්ද පලස්තීන සිරකරුවන් 2,000කට ආසන්න පිරිසක් නිදහස් කිරීමට පියවර ගනු ලැබුවා.










