දේශීය

බැංකු ගිණුමකින් ලක්ෂ පහකටත් වැඩි මුදලක් වංචා කළ 04ක් අල්ලයි

බැංකු ගිණුමක තිබූ රුපියල් 569,610.00ක මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2024.05.29 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත ලැබුණු පැමිණිල්ලක් මතයි ඊයේ (14) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ මුදල් වංචා කිරීම, සාවද්‍ය පරිහරණය හා විශ්වාසය කඩ කිරීම යන චෝදනාවලට සම්බන්ධ සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙක්.

ඔවුන් අවුරුදු 30 සහ 38 වයස්වල පසුවන දෙහිදෙණිය, මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

වෙබ් අඩවියක පල කර තිබූ ජල මෝටරයක් විකිණීමට අදාළ දැන්වීමක් අනුව සැකකරුවන් විසින් එය මිලදී ගන්නා බවට හඟවමින් විකුණුම්කරුට අත්තිකාරම් මුදලක් තැන්පත් කරන මුවාවෙන් ඔහුගේ බැංකු ගිණුමට සම්බන්ධිත OTP අංකය ලබාගෙන මෙම මුදල් වංචා කිරීම සිදුකර ඇති බවටයි දැනට සිදු කරන ලද විමර්ශයේදී අනාවරණය වී තිබෙන්නේ.

සැකකරුවන් අද වාරියපොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් ඒකකයේ පරිගණක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Shares: