දේශීය

කිළිනොච්චිය ඉඩමකින් මෝටාර් උණ්ඩ තොගයක් සොයා ගැනේ

කිළිනොච්චිය, මුහමාලෙයි, පොත්තර් කුඩිඉරිප්පු ප්‍රදේශයේ ඉඩමක තිබී මෝටාර් උණ්ඩ 40ක් සොයා ගෙන තිබෙනවා.

පලෙයි පොලීසිය පැවසුවේ මෙම උණ්ඩ තොගය ඊයේ (14) දින සොයාගත් බවයි.

ඉඩම් හිමියෙකු විසින් වගාවන් වෙනුවෙන් ඉඩම සකස් කිරීමේදී අදාළ උණ්ඩ දැක පොලීසිය දැනුවත් කොට තිබෙනවා.

අනතුරුව පොලීසිය විසින් කිළිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් අදාළ ස්ථානය පරීක්ෂා කිරීමේදී අදාළ මෝටාර් උණ්ඩ සොයාගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ප්‍රදේශවාසීන් කියා සිටියේ බිම් බෝම්බ නිෂ්ක්‍රීය කරමින් නැවත පදිංචි කළ ප්‍රදේශයක අදාළ පුපුරණ ද්‍රව්‍ය තිබී හමුව ඇති බවයි.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අධිකරණ නියෝග මත පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් නිෂ්ක්‍රීය කිරීමට නියමිතවයි ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Shares: