වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතන සැකකරුවන් ගැන සාර්ථක තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
අද (23) පාර්ලිමේන්තුවේ දීයි ඔහු මේ බව සඳහන් කළේ.
අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි දින දෙක තුන තුළ ඔවුන් අත්අඩංගුවට ගන්නා බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ආරක්ෂක අමාත්‍යවරයා,
“පොලිස් කණ්ඩායම් 4ක් යෙදෙව්වා. මේ වනවිට තොරතුරු ලැබී තියෙනවා. දින 2ක් 3ක් ඇතුළත මේකට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට ගන්නවා. ඒ සඳහා නියෝගයක් ලබාදීලා තියෙනවා. ඒ ගැන තොරතුරු ලැබෙමින් තියෙනවා. අපි කණගාටු වෙනවා එතුමා ඝාතනයට ලක්වීම ගැන. මම ඊයෙත් කිව්වා මේක පාතාලය, නීතිවිරෝධී කටයුතු කරන කෙනෙක් ද වෙනත් කෙනෙක් ද කියන එක අපිට අදාළ නෑ. හැම ජීවිතයක්ම ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා.”
යනුවෙනුයි ප්‍රකාශ කළේ.
ඊයේ උදෑසන වැලිගම ප්‍රාදේශීය සභාව තුළදී එහි සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඔහුගේ නිල කාර්යාලය තුළ නාඳුනන තුවක්කරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.
සුදු පැහැති කමිසයකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැලඳගෙනයි වෙඩික්කරු සභාපතිවරයාගේ කාර්යාලය තුළට පැමිණ තිබුණේ.
එහිදි වෙඩික්කරු නිල ආසනයේ සිටි සභාපති වික්‍රමසේකර මහතා ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර 4ක් පමණ එල්ල කර තවත් අයෙකු සමඟ යතුරු පැදියකින් පලා යන අයුරු CCTV දර්ශනවල පටිගතව තිබෙනවා.
වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සභාපතිවරයා මාතර දිස්ත්‍රික් මහ රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්වූයේ.
පොලීසිය පැවසුවේ වෙඩිවැදීමෙන් ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ හිසට, ගෙලට සහ පපු ප්‍රදේශයට තුවාල සිදුව ඇති බවයි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස් කිත්සිරි ජයලත් මහතාගේ සෘජු අධික්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් හතරක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව සඳහන්.










