මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව යළි දෙසැම්බර් මස 05 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුව අද (30) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ දීයි කැඳවනු ලැබුවේ.
එහිදී විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ පුරපාඩුව පවතින සෙසු විනිසුරු ධුර සඳහා විනිසුරුවරු මෙතෙක් නම් කර නොමැති බවයි.
එම විනිසුරු ධුර සඳහා කඩිනමින් විනිසුරුවරු පත් කරනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසූ විනිසුරුවරයා, එතෙක් මෙම නඩුව දෙසැම්බර් මස 05 වැනිදා දක්වා කල් තබන බව නිවේදනය කළා.
එම නඩුවේ විත්තිකරුවන් ලෙස මන් කර ඇත්තේ ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 09ක්.
2010 වසරේ ජනවාරි මස මස 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.










