මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිත 2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
අයවැය කතාව ජනාධිපතිවරයා විසින් අද ප.ව. 01.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජාතික ජනබලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැයයි අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ.
2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434ක්.
එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ ජනපතිවරයා යටතේ පවතින මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634ක් වනවා.
එමෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 554ක් ද , ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 455ක්ද , අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 301ක් ලෙසයි මුදල් වෙන් කර ඇත්තේ.
අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපතිවරයා විසින් නිරීක්ෂණය කරනු ලැබුවේ ඊයේ රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි.
එහිදී ජනපතිවරයා අද අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 8 සිට නොවැම්බර් 14 දක්වා පැවැත්වෙනවා.
නොවැම්බර් 14 වැනිදා පස්වරු 6ට දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
ඉන්පසු නොවැම්බර් 15 සිට දෙසැම්බර් 05 දක්වා අයවැය තුන්වැනි වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමටත්, දෙසැම්බර් 5 වැනිදා පස්වරු 6ට අයවැය අවසන් ඡන්ද විමසීමත් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.










