මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සැකකෙරෙන වියළි මිරිස් තොගයක් ගබඩා කර තිබු වත්තල ප්‍රදේශයේ ගබඩාවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මුද්‍රා තබා තිබෙනවා.
විදේශයක සිට ආනයනය කෙරුණු මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සැකකෙරෙන වියළි මිරිස් තොගයක් ගබඩාවක ඇති බවට පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව එම අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැටලීම් අංශය විසිනුයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
වත්තල, ඇලකන්ද ප්‍රදේශයේ පිහිටි අදාළ ගබඩාව පරික්ෂාවට යන විටත් එය වසා දමා පැවති අතර එම අධිකාරිය සඳහන් කළේ උපාය දූතයෙකු යොදවා ගබඩාව විවෘත කර ගැනීමෙන් අනතුරුව පරික්ෂා කළ බවයි.
එහිදී එම ගබඩාව තුළ කිලෝග්‍රෑම් 25 බැගින් වූ මළු 30ක් තුළ මිරිස් තොගය ගබඩා කර තිබූ අතර එහි නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය, බර ආදී අත්‍යවශ්‍ය තොරතුරු සඳහන් කර නොතිබු බවයි එම අධිකාරිය පැවසුවේ.
එමෙන්ම මෙම වියළි මිරිස් තොගය වෙළෙඳපොළට මුදා හරිමින් පැවති බවට ද පාරිභෝගික අධිකාරිය විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් එහි හිමිකරු පාරිභෝගික අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන අනතුරුව බැඳුම්කරයක් මත මුදාහැරීමටයි කටයුතු කර ඇත්තේ.











