සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා.
සමස්ථ රාජ්‍ය සේවයේම ඩිජිටල් ප්‍රවේශ වැඩසටහන යටතේ, මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් මෙය සිදුකරන බවයි කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේ.
ඔහු මේ බව කියා සිටියේ අද (25) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින්.
සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි සාමාජිකයෙකුට අන්තර්ජාල සේවාවන් හෝ ජංගම දුරකථන කෙටි පණිවුඩ මඟින් සේවක අර්ථසාධක අරමුදලේ ගිණුම්වල තොරතුරු ලබා ගත හැකි ක්‍රමවේදයක් දැනටමත් ක්‍රියාත්මක වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
එම අරමුදලේ දැනට පවතින තොරතුරු පද්ධතිය 2000 වර්ෂයේ දී පමණ සංවර්ධනය ආරම්භ කර ඇති අතර අනිල් ජයන්ත මහතා සඳහන් කළේ එය වර්තමාන හා අනාගතයට ගැළපෙන පරිදි නවීකරණය වී නොමැති බවයි.
මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව හා කම්කරු දෙපාර්තමේන්තුව වෙන් වෙන් වශයෙන් පවතින දත්ත පද්ධති දෙක නිසා දුෂ්කරතා මතුවීම හේතුවෙන් එම පද්ධති දෙක එක්කර මෙම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සිදුකිරීමට නියමිත බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මෙලෙස හඳුන්වාදෙන නව ඩිජිටල්කරණ පද්ධතිය මූලික කොටස් කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරන බව ද අනිල් ජයන්ත මහතා කියා සිටියා.
- සේවායෝජකයන්ට EPF / ETF ගෙවීම එක් යෙදුමක් මඟින් සිදුකිරීමට හැකි වීම.
- දැනට ශ්‍රී ලංකාවේ මහ බැංකුව හා කම්කරු දෙපාර්තමේන්තුවට වෙන වෙනම කළ යුතු යාවත්කාලීන කිරීම් තවදුරටත් අවශ්‍ය නොවන පරිදි දත්ත පද්ධති අතර අන්තර් සම්බන්ධීකරණයක් ඇති කීරීම.
- සේවකයන්ට තම රැකියාවට අදාළ තොරතුරු තම සාමාජික ගිණුම මඟින් දත්ත පද්ධතියට ඇතුළත් කිරීමට අවස්ථාව සැලසීම.
- EPF / ETF ශේෂයන් යාවත්කාලීව කිරීම.
- මාර්ගගත පරීක්ෂා කිරීම සහ සුවයන් උත්පාදන පණිවුඩ මඟින් දැනගැනීමට අවකාශයන් සැලසීම.
- පැමිණිලි කළමනාකරණය හා සම්බන්ධ කරමින් පරීක්ෂණ යෙදවුමක් ක්‍රියාත්මක කිරීම යන ආදිය මෙම ඩිජිටල්කරණ පද්ධතිය තුළ සිදුකිරීමට නියමිතයි.











