විපතට පත් ජනතාව මුදා ගැනීම සහ සහන සැලසීම සඳහා මුදල් බාධාවක් කර නොගෙන මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිස්ත්‍රික් ලේකම්වරු වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
ආපදා සහන සේවා කටයුතු සඳහා මේ වන විට රුපියල් බිලියන 1.2 ක මුදලක් වෙන්කර ඇති අතර 2025 අයවැයෙන්ද තවත් රුපියල් බිලියන 30ක් හදිසි අවශ්‍යතා සඳහා වෙන්කර ඇති බවයි එහිදී ඔහු සඳහන් කළේ.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු සමඟ විශේෂ සාකච්ඡාවකට අද (28) පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමින්.
එමෙන්ම ජනතාව මුදා ගැනීමේ සහ ඔවුන්ට සහන සැලසීමේදී තවදුරටත් මුදල් අවශ්‍ය නම් ඉල්ලා සිටින ලෙසත්, හදිසි අවස්ථාවලදී දැනට දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු සතුව පවතින මුදල් වැය කරන ලෙසත් එතුමා මෙහිදී දැනුම් දුන්නා.
මුදල් වැය කිරීමේදී චක්‍රලේඛ බාධාවක් වීම වළක්වා ගැනීමට නව චක්‍ර ලේඛයක් වහාම නිකුත් කරන ලෙසද මෙහිදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවතැන් වූ ජනතාව වෙනුවෙන් පවත්වා ගෙන යන කඳවුරුවල පාලනය යුද හමුදාවට භාර දීමටයි උපදෙස් දුන්නේ.
එසේම එතුමා මෙහිදී දිසාපතිවරුන්ට දැනුම් දී ඇත්තේ සිර වී සිටින ජනතාව මුදවා ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය බෝට්ටු, හෙලිකොප්ටර් ඇතුලු වෙනත් උපකරණ සහ වාහන පිළිබඳව වහාම දැනුම් දෙන ලෙසයි.
එම කටයුතු සම්බන්ධීකරණය සඳහා ආරක්ෂක මූලස්ථානයේ වෙනම ඒකකයක් පවත්වා ගෙන යාමටත්, ඒ හා සම්බන්ධ වීමට විශේෂ දුරකථන අංක දහයක් හඳුන්වා දීමටත් අදාළ අංශවලට දැනුම් දී තිබෙනවා.
එමෙන්ම ගංවතුර, නායයාම් සහ ගස්කඩා වැටීම් හේතුවෙන් විනාශ වී ඇති යටිතල පහසුකම් පිළිබඳ ලේඛන සකස් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යොමු කරන ලෙස ද දිස්ත්‍රික් ලේකම්වරු වෙත වැඩිදුරටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා ආපදා තත්ත්වය පහව යාමත් සමඟ එම ලේඛනවලට අනුව ත්‍රිවිධ හමුදාව යොදා ගනිමින් අදාළ පිළිසකර කිරීම් ආරම්භ කරන බවයි වැඩිදුරටත් සඳහන් කළේ.











