දේශීය

වසා දැමූ ඌව පළාතේ පාසල් යළි ආරම්භ කෙරේ

දිට්වා සුළි කුණාටුවත් සමග දිවයිනට බලපෑ ආපදා තත්ත්වයන් හමුවේ ඌව පළාතේ වසා දැමූ පාසල් යළි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස මහතා පවසනවා.

දිනයන් දෙකක් යටතේ ඌව පළාතේ පාසල් යළි විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවයි මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසුවේ.

ඒ අනුව දැඩි ලෙස ආපදාවන්ට ලක් වූ පාසල් හැර අනෙකුත් පාසල් හෙට (16) දිනයේත් බලපෑම් එල්ලව ඇති පාසල් එළැඹෙන 29 වනදාත් ආරම්භ කිරීමට නියමිතයි.

“ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් 291න් බිබිල කලාපයේ දෙහිගලවත්ත පාසල හැර අනෙකුත් සියලු පාසල් 290වම හෙට (16) දින විවෘත කිරීමට සියලු කටයුතු යොදා තියෙනවා. ඒ එක්කම බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගන කලාපයේ දික්යාය විද්‍යාලය, කළුකැල විද්‍යාලය සහ පින්නගොල්ල විද්‍යාලය හැර අනෙකුත් පාසල් 78 හෙට දින විවෘත කිරීමට සියලු කටයුතු යොදා තියෙනවා. පවතින ආපදා තත්ත්වයත් එක්ක බදුල්ල දිස්ත්‍රික්කයේ සෙසු කලාපවල එනම් බදුල්ල කලාපය, බණ්ඩාරවෙල කලාපය, වැලිමඩ කලාපය, පස්සර කලාපයේ සියලු පාසල් හෙට දින ආරම්භ නොවන අතර 29 වනදින එම කලාපවල සියලු පාසල් ආරම්භ කිරීමට කටයුතු යොදා තියෙනවා”

යනුවෙනුයි ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Shares: