දේශීය

ලංකාවට පැමිණි සංචාරක වාර්තාව අලුත් වෙයි

වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණයේ වාර්තාව අද (29) අලුත් වී තිබෙනවා.

ඒ මීට පෙර ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණි වසර වූ 2018 දී වාර්තා වී තිබූ සංචාරකයින් 2,333,796 ප්‍රමාණය අද දිනයේ දී අභිබවා යාමත් සමඟින්.

ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක ආයතනය පැවසුවේ 2025 වර්ෂයේ 2,333,797 වන සංචාරකයා අද උදෑසන මෙලෙස පිළිගත් බවයි.

මෙම ජයග්‍රහණය ජාතියේ සංචාරක ගමනේ තීරණාත්මක මොහොතක් සනිටුහන් කරන අතර, ප්‍රමුඛ ගෝලීය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ඔරොත්තු දීමේ ශක්තිය සහ අලුතින් ඇති වූ විශ්වාසය පෙන්නුම් කෙරෙනවා.

සංචාරක ක්ෂේත්‍රය ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ස්ථම්භයක් ලෙස දිගටම පවතින අතර, විදේශ විනිමය ඉපැයීම්, රැකියා සහ සංස්කෘතික හුවමාරුව සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයයි.

‘දිට්වා’ සුළි කුණාටු ව්‍යසනය වැනි අභියෝග මධ්‍යයේ මෙම සන්ධිස්ථානයට ළඟා වීම කර්මාන්තයේ සහ එහි පාර්ශ්වකරුවන්ගේ ශක්තිය සහ සමගිය පිළිබිඹු කරන බවයි ශ්‍රී ලංකා සංචාරක ආයතනය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ.

Shares: