උණුසුම් පුවත්

පරිවාසව සිටින ළමුන් 3,000කට උප්පැන්න සහතික නෑ – ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය

අධිකරණ ක්‍රියාවලිය හරහා පරිවාස භාරයට පත්ව සිටින වයස අවුරුදු 16ට අඩු ළමුන් 3,000කට ආසන්න පිරිසකට උප්පැන්න සහතික නොමැති බවට හඳුනාගෙන ඇති බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසනවා.

ඇතැම් ළමුන්ට දෙමාපිය හා භාරකරු රැකවරණය නොමැති වීම මෙන්ම අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වීම නිසා මෙම ගැටළුවට මුහුණපා ඇති බව සඳහන්.

මේ වන විට පැන නැගී ඇති ගැටලුව වන්නේ එම ළමුන් පාසල් අධ්‍යාපනය සඳහා යොමු කිරීමේදී ඉදිරිපත් කිරීමට අවශ්‍ය උප්පැන්න සහතිකයක් නොමැති වීමයි.

මෙහිදී මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම්, සොරකම්, මිනිමැරුම්, පාතාල ක්‍රියාකාරකම්, විවිධ අපරාධමය වැරදිවලට සම්බන්ධ, කිසිදු දෙමාපිය රැකවරණයක් නොමැති වීම, මඟතොටදී අතහැරදමා ගිය ළමුන් මෙන්ම විවිධ ලිංගික හිංසනයන්ට හා අතවරයන්ට ලක්ව අධිකරණ ක්‍රියාවලිය මගින් පරිවාස භාරයට පත් කෙරුණු ළමුන් ද මේ අතර ඇති බවයි ප්‍රකාශ කරන්නේ.

එහිදී සැලසුම් සකස් කර ඇත්තේ මෙම ළමුන්ගේ භාරකාරීත්වය හා මවුපිය රැකවරණය නොමැති වීම නිසා අනුමාන වයස් සීමාව යටතේ උප්පැන්න සහතික ලබාදීමටයි.

මෙහිදී ඇතැම් අවස්ථාවලදී මව හෝ පියා වෙනුවට අදාළ පරිවාස රැඳවුම් මධ්‍යස්ථානය පිහිටි පළාත් කොමසාරිස්වරයාගේ නාමය යොදා ගැනීම පිළිබඳවත් රජයේ අවධානය යොමුවී තිබෙනවා.

මෙම පිරිස් වයස අවුරුදු 18 සම්පූර්ණ වී සමාජගත කිරීමේදී ඔවුන්ට පිළිගත් ආයතනවල රැකියාවක් ලබා ගැනීමද ගැටළුවක් සේ පවතින්නේ එම ළමුන් පාසල් අධ්‍යාපනය නිමා කර ඇත්තේ පරිවාස ළමා රැඳවුම් මධ්‍යස්ථයානයන්හි පිහිටි පාසල් තුළ වීමයි.

මේ වන විට රජයේ පරිවාස රැඳවුම් මධ්‍යස්ථාන 46කත්, රාජ්‍ය නොවන සංවිධාන විසින් පවත්වාගෙන යන පරිවාස ළමා රැඳුම් මධ්‍යස්ථාන 308ත් තරුණ තරුණියන් හා ළමුන් 9191ක් රඳවා සිටිනවා.

Shares: