ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක මුදලක් ප්‍රදානය කර තිබෙනවා.
මෙම මුදලට අදාළ චෙක්පත භාරදෙනු ලැබුවේ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රමුඛත්වයෙන්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරී පිරිසක් විසින්.
අදාළ චෙක්පත භාරදීම සිදුකර ඇත්තේ, මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී වන අතර නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් විසින් චෙක්පත භාරගනු ලැබුවේ.
මීට පෙර අවස්ථාවකදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රුපියල් බිලියන දෙකක් ප්‍රදානය කර තිබූ අතර, අද දිනයේ ඉතිරි රුපියල් බිලියන තුන මෙලෙස භාරදීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.
2024 වසරේ ලබාගත් ලාභාංශ සහ 2025 වසර තුළ වරාය අධිකාරිය විසින් කාර්යක්ෂම ලෙස කළමනාකරණය සිදු කිරීම හේතුවෙනුයි මෙම මුදල් භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලට පරිත්‍යාග කිරීමට හැකි වී තිබෙන්නේ.
ඒ සමඟම 2025 වසර තුළ වරායේ මෙහෙයුම් ධාරිතාව වැඩි කර ගැනීමෙන් නොවැම්බර් 30 වැනිදා වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් මිලියන 44,110ක ශුද්ධ ලාභයක් උපයාගෙන ඇති බවද සඳහන්.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය වැඩිදුරටත් පැවසුවේ එය මෙම මුදල් ප්‍රධානයට විශාල පදනමක් වූ බවයි.











