උණුසුම් පුවත්කාළගුණය

පීඩන අවපාතය ඉදිරි පැය 24 තුළ නැගෙනහිර වෙරළට

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ (07) රාත්‍රී 11.30 වන විට පොතුවිල් සිට 490kmක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.3°N සහ දේශාංශ 86.0°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 24 තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ලගාවනු ඇති බවයි අපේක්ෂා කරන්නේ.

එමෙන්ම එම නිවේදනයේ සඳහන් වන්නේ මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින බවයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතිනවා.

උතුර, උතුරු – මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

සෙසු ප්‍රදේශ වල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එහි සඳහන්.

එසේම නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. (50-75)ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු – මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි. මී. (50-60) පමණ තද සුළං ඇති විය හැකියි.

ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

සුළං ඊසාන දෙසින් හමා එන අතර, සුළගේ වේගය පැ.කි.මී. 35-45ක පමණ වෙයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70ක් දක්වා ඉහළ යා හැකි බවයි ඔවුන් නිවේදනය කරන්නේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු සිට ඉතා රළු විය හැකියි.

මේ අතර කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතිනවා.

Shares: