උණුසුම් පුවත්

දිට්වා ව්‍යසනය රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමට භාවිත කරන්නේ නෑ – ජනපති

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු ව්‍යසනය කිසිදු අවස්ථාවක රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට භාවිත නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘REBUILDING SRI LANKA’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උත්සවයට එක්වෙමින්.

ආර්ථික ව්‍යසනයකට මුහුණ දී තිබුණු රට ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතින මොහොතක සුළි කුණාටුවට මුහුණදීමට රටට සිදු වූ නමුත් ඒ තුළින් රජයට කිසිදු අවස්ථාවක ඇඟබේරා ගැනීමට අවශ්‍යතාවයක් ඇති නොවුණ බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.

එහිදී එතුමා කියා සිටියේ,

“අපි පොරබඳන්නේ අපි සකස් කර ඇති න්‍යාය පත්‍රය හකුළුවන්නේ නැතුව මේ ව්‍යසනයට මුහුණදෙන්නේ කොහොමද” යන්න පිළිබඳව බවයි.

“අපිට මේ ව්‍යසනය මත බොහෝ දේවල් තියලා ඇඟබේරා ගන්න හැකියාව තිබුණා අවශ්‍ය නම්. ඉතිහාසයේ අපි එහෙම තමා ගමන් කරේ. අවුරුදු 30ක් සියලු විනාශයන් හේත්තු කළා යුද්ධයකට. එහෙමයි අපිට තිබුණේ. යම් වසංගත තත්ත්වයන් තමා මේ ව්‍යසනයේ ආවරණය බවට පත්කර ගත්තේ. අපිට කිසිදු අවශ්‍යතාවයක් තිබුණේ නෑ අපේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට මෙය භාවිත කරන්නෙ නෑ කියලා තීරණයකට ආවා.”

මේ අතර පවුල් ලක්ෂ 7ක පුද්ගලයින් දිට්වා සුළි කුණාටුවෙන් ඇති වු ව්‍යසනයේ ගොදුරු බවට පත්වූ අතර, නිවාස 6,000ක් පමණ අහිමි වූ බවද සඳහන් කළ ජනාධිපතිවරයා, ආපදා හේතුවෙන් අර්ධ වශයෙන් නිවාස 110,000කට පමණ හානි සිදු වූ බවත්, නිවාස හානි සිදුනොවුණත් ජනතාවට අවදානම් තත්ත්වය තුළ ඉවත්වීමට දැනුම් දී ඇති නිවාස 10,000ක් පමණ හඳුනාගෙන ඇති බවයි කියා සිටියේ.

පුරවැසියන් විසින් ලබාදී ඇති ජනවරමට තමා යටත්වී ඇති බවත්, ඒ නිසාවෙන් කිසිදු බලපෑමකට ඒ ජනවරම පාවා නොදෙන බවත් පැවසු එතුමා ව්‍යසනය වෙනුවෙන් වියදම් කිරීමට පමණක් රු බිලියන 500ක ඇස්තමේන්තුවක් සම්මත කරගත් බවද පැවසුවා.

එමෙන්ම ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ විනාශයට පත්වූ නිවාස 2,500ක් සෑදීමට අයවැය ලේඛනයෙන් රු මි 5,000ක් වෙන්කර ඇති බවත්, 2026 වසරේ නිවාස 50,000කට අධික ප්‍රමාණයක් ගොඩනැගීමට නියමිත බවයි.

“අපි මේ කම්පනය මත යළි නැඟී සිටින්න පොරබඳනවා තිබුණාට වඩා හොඳ රටක් ගොඩනැඟීම සඳහා” යනුවෙන්ද පැවසු ජනාධිපතිවරයා, ව්‍යසනය හමුවේ ඉදිකළ තාවකාලික ඉඳිකිරීම් ස්ථාවර තත්ත්වයට පත්කිරීම ඊළඟ පියවර බවයි වැඩිදුරත් සඳහන් කළේ.

Shares: