විදෙස්

නවසීලන්ත කඳවුරු භූමියක නායයෑමක් – පිරිසක් අතුරුදන්

නවසීලන්ත කඳවුරු භූමියක සිදු වූ නායයෑමකින් දරුවෙකු ඇතුළු කිහිපදෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

නවසීලන්ත සංචාරක තෝතැන්නක් වන මවුන්ට් මවුන්ගනි (Mount Maunganui) ප්‍රදේශයේ කඳවුරු භූමියක මෙම නායයෑම වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හදිසි කළමනාකරණ අමාත්‍ය මාර්ක් මිචෙල් පැවසුවේ නැගෙනහිර වෙරළ තීරයේ සමහර කොටස් “යුද කලාපයක්” මෙන් දිස් වූ බවයි.

එමෙන්ම ගංවතුරෙන් වහලවල් මත නවාතැන් ගෙන සිටින පවුල් බේරා ගැනීම සඳහා හෙලිකොප්ටර් යොදවා ඇති බවත්, වාර්තාගත ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නෝර්ත්ලන්ඩ් සහ නැගෙනහිර කේප් හරහා කලාප පහක ප්‍රාදේශීය හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කළ බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

එසේම ජීවිත බේරාගත් අය සොයා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව මාධ්‍ය වාර්තාවල සඳහන්.

පවතින තද වැසි සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් විදුලිය විසන්ධිවීම් ද වාර්තා වී ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

මීට අමතරව පැපමෝවා හි තවත් නායයෑමකින් එක් අයෙකු බරපතල තුවාල ලබා ඇති අතර තවත් දෙදෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

තවද නවසීලන්තයේ උතුරු දූපතේ ප්ලෙන්ටි බොක්ක ප්‍රදේශයට හා ඕක්ලන්ඩ් නගරය අවට බොහෝ ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ අධික වර්ෂාපතනයක් සහ සුළං මගින් දැඩි බලපෑම් සිදු ව ඇති අතර කාලගුණ අනතුරු ඇඟවීම් ද නිකුත් කරයි ඇත්තේ.

ඕක්ලන්ඩ් නගරයට උතුරින් පිහිටි මහුරංගි ගඟේ ජල මට්ටම අවදානම් මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ මාර්ග ද ජලයෙන් යට වී ඇති බැවින් අත්‍යවශ්‍ය නොවන සියලු ගමන්වලින් වැළකී සිටින ලෙසට දැනුම් දී ඇති බවයි.

Shares: