දේශීය

2025දී මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය තොගයක් භාරයට අරන්

මෑත ඉතිහාසයේ ආරක්ෂක අංශ විසින් සිදුකළ මෙහෙයුම් අනුව වැඩිම මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට හැකි වුයේ 2025 වසරේදී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ “රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රගතිය” සම්බන්ධයෙන් අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුව අමතින්.

2024 වසරේදී හෙරෝයින්, ගංජා, අයිස්, හෂිෂ් සහ කොකේන් යන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10,871ක් පොලිස් භාරයට ගෙන ඇති අතර එම අගය 2025 වසරේදී කිලෝ ග්‍රෑම් 23,692යි ග්‍රෑම් 307කක් දක්වා ඉහළ අගයක් ගත් බවයි වුට්ලර් මහතා ප්‍රකාශ කළේ.

එය තෙගුණයක වර්ධනයක් බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

එමෙන්ම 2024 සහ 2025 වසර දෙක තුළදී විදේශයන්වල සැඟව සිට මෙරටට ගෙන එමට සමත්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගණන 21ක්.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මේ වන විට විදේශයන්වල සැඟව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 96 දෙනෙකුට රතු නිවේදන නිකුත් කර ඇති බවත්, ඔවුන් ද ඉතා ඉක්මනින් මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවයි.

එමෙන්ම 2024 සහ 2025 වසරවලදී රත්‍රං පවුම් 354ක් රජය සතුකර ගැනීම සඳහා අවශ්‍ය මූලික නෛතික පියවර ගෙන ඇති බවත්, අනීතික මුදලින් මිල දී ගත් යාන වාහන 77ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මීට අමතරව නිවාස 30ක් පොලිස් භාරයට ගෙන ඇති අතර තහනම් කර ඇති ඉඩම් ප්‍රමාණය පර්චස්වලින් 1,197ක්.

එසේම මුදලින් රුපියල් ලක්ෂ 3,539ක් තහනම් කර ඇති බවද ඒ මහතා පැවසුවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්‌වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා කියා සිටියේ,

“2025 වසරේ දී තමා මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන මත් ද්‍රව්‍ය අපරාධකරුවෝ ජාවාරම්කරුවෝ වැඩිම සංඛ්‍යාවක් අත්අඩංගුවට ගන්නට හැකි වුයේ. 2024 දී හෙරෝයින් කිලෝග්‍රෑම් 832ක් වූ ප්‍රමාණය 2025 වසරේ දී 1,821ක් දක්වා තුන් ගුණයකින් වැඩි කිරීමට ශ්‍රී ලංකා පොලීසිය තීව්‍ර ලෙස සොදිසි කිරීම් පරික්ෂා කිරීම් අත්අඩංගුවට ගැනීම් මෙහෙයවන්නට හැකියාව ලැබුණා.

ඒ වගේම 2024 වසරේදී ගංජා කිලේ ග්‍රෑම් 8,359ක් වූ ප්‍රමාණය 2025 වසරේ දී 17,189ක් දකවා වැඩි කරන්නට අපිට හැකියාව ලැබුණා.

එවගේම වසරේදී කොකේන්, හෂිෂ් සහ අයිස් සමස්ථ සංසන්දනාත්මක අගයක් අපි සලකලා බැලුවාහම විශේෂයෙන් 2024 සහ 2025 දී 100%කින් අපිට හැකියාව ලැබී තිබෙනවා. මේ මත්ද්‍රව්‍ය ජාවාරමට පාලනය කරන්නට පුළුවන් වුණා.

මත්ද්‍රව්‍ය ජාවාරම කියන්නේ ජාලගත අපරාධයක්. මෙයට සම්බන්ධ විශේෂයෙන් අධිකරණය මගහැරලා විදේශගත වෙලා ඉන්න අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට අපි හැකියාව ලැබුණා. මේ උදර්පණ නීතිය යටතේ 2024 වසරේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 10 දෙනෙකු ලංකාවට ගෙන්න ගත්තා. 2025 වසරේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 11 දෙනෙකු අතුළු මේ වසර දෙකේදී 21 දෙනෙක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

රතු නිවේදන හරහා අධිකරණය මගහැර විදේශවල සැඟව සිටින අපරාධකරුවන් 95 දෙනෙකෙුට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා.

මේ අත්අඩංගුවට ගත් ජාවාරම්කරුන්ගේ නීතිවිරෝධී දෙපොළ පොලිස් භාරයට ගෙන තහනම් කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව 2024 සහ 2025 වසරවලදී රත්‍රං පවුම් 354ක් රජය සතු කරගැනීම සඳහා අවශ්‍ය මූලික නෛතක කටයුතු කර තිබෙනවා.

එමෙන්ම නීතිවිරෝධි මුදලින් මිල දී ගත් යාන වාහන 77ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. නිවාස 30ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඉඩම් පර්චස් වලින් 1,197ක් තහනම් කරලා තියෙනවා. මුදලින් රුපියල් ලක්ෂ 3,539ක් තහනම් කරලා තිබෙනවා. විශේෂ විමර්ශන 65ක් ආරම්භ කරලා තියෙනවා.”

යනුවෙනුයි.

Shares: