ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් මහතා සහ මහඇමති භූපේන්ද්‍ර පටෙල් මහතා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක්, පාර්ලිමේන්තු සංකීර්ණයේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවුණා.
අද (05) එම හමුව සිදුව ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසනවා.
මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් මහතා සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ කළ නිල සංචාරයකදී කළ ඉල්ලීමකට අනුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මඟපෙන්වීම යටතේ, ගුජරාට් ප්‍රාන්තයේ තැන්පත් කර තිබූ පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීමට කටයුතු කළ බවයි.
ගුජරාට් ප්‍රාන්ත ඉතිහාසය තුළ, පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ විදේශ රටකට වැඩම කරවනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීම දෙරට අතර පවතින අන්‍යෝන්‍ය ගෞරවය සහ ඓතිහාසික සබඳතාව විදහා දක්වන වැදගත් සන්ධිස්ථානයක් බව ද ඔහු අවධාරණය කළා.











