පාසල් අතර අසමානතාව අවමකර, දරුවන්ට ලැබීය යුතු අධ්‍යාපන අත්දැකීම්වල ගුණාත්මකභාවය ඉහළ දැමීම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
ඇය මේ බව ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයක දීයි.
පාසල් අතර අසමානතාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාසල් පද්ධතිය තුළ දශක ගණනාවක් තිස්සේ මුහුණ දීමට සිදුව ඇති විවිධ ගැටලු නිර්මාණය වී ඇති අතර එය බරපතල ගැටලු රාශියකට මූලික වී ඇති බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ.
තරගකාරී අධ්‍යාපන රටාව තුළ පාසල් දරුවන්ගේ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ඔවුන් මුහුණ දෙන පීඩනය, ගුරුවරුන් මුහුණ දෙන පීඩනය, විදුහල්පතිවරුන් මුහුණපාන ගැටලු මේ සියල්ලටම මුලික වී ඇත්තේ පාසල් අතර ඇති අසමානතාවය බවත්, එය මගහැරීම සඳහා වර්තමාන රජය විශාල උත්සාහයක් දරණ බවත් ඇය සඳහන් කළා.
මෙම අසමානතාවය අවම කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණක් බව කී එතුමිය පවසා සිටියේ ‘දරුවන්ට ලැබිය යුතු අධ්‍යාපන අත්දැකීම් ගුණාත්මක ලෙස ලබා දීමේ අරමුණින්, පාසල්වල නමට වඩා ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රියාවලියේ ගුණාත්මකභාවය උසස් තත්වයට පත් කිරීම ප්‍රමුඛත්වයයි’යන වගයි.
එමෙන්ම අධ්‍යාපන ක්‍රියාවලියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ දී විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ සෘජු සහභාගීත්වය, නායකත්වය, ආදර්ශය හා දායකත්වය මූලික වශයෙන් අවශ්‍ය බවයි අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ.
ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් විෂය නිර්දේශය වෙනස් කිරීම පමණක් නොව මානව සම්පත දියුණු කිරීම, පරිපාලනමය දියුණුව, යටිතල පහසුකම් සමානව බෙදා දීම සහ අධ්‍යාපන ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම යන අංශවලට විශේෂ අවධානය යොමු කර ඇති බවයි.











